Saturday, April 20, 2024

General line - 0115112241

ජනපතිගේ සංකල්පය බොඳ කළ හැටි (PHOTOS)

සනත් ගමගේ




අම්බලන්තොට වැලිපටන්විල ධීවර වරාය ආසන්නයේ ඉදිකිරීමට මුල්ගල් තැබූ සුඛෝපභෝගී රුවල් යාත්‍රා නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාව ලත් තැන ලොප් වී ඇති අයුරු මෙම ඡායාරූපවලින් දැක ගත හැකිවනවා.

2017 වසරේ එවකට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති ලෙස කටයුතු කළ මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය නිලධාරින්ගේ ද සහභාගීත්වයෙන් මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරිම සඳහා උත්සවාකාරයෙන් මුල්ගල් තැබීම සිදුවුණා.

ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය ධීවර අමාත්‍යාංශයේ මෙහෙයවීම මත, බැෆ් පොලිමැක් පුද්ගලික සමාගමක් මගින් ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන් වුණා.

වැලිපටන්විල ධීවර වරාය ආසන්නයේම මුහුදු සීමාවේ ඉඩමේ මුල්ගල් තැබීම හා සිහිවටන ඵලකය නිරාවරනය කිරීම එවකට ධීවර ඇමැති මහින්ද අමරවීර අතින් සිදු කෙරුණා.

එම ස්ථානයේ සිටුවන ලද රුවල් යාත්‍රා කර්මාන්ත ශාලාවේ නාම පුවරුවද මේ වනවිට බිමට පෙරළා තිබෙනවා.

මුල්ගල් තැබූ ස්ථානයට නුදුරින් ගොඩබිම දෙසට වන්නට වැඩබිම් කාර්යාලයක් ද පිහිටුවා ඇති අයුරු දැකගත හැකි වනවා.

ප්‍රදේශයේ  තරුණයින්ට රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් මෙම කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබූ හෙයින් වසරක් ගත වුවත් කර්මාන්ත ශාලාවේ කිසිඳු ඉඳිකිරීමක් සිදු නොකිරිම හේතුවෙන් ප්‍රදේශයේ තරුණයින්ගේ  රැකියා සිහිනය බොඳවී ගොස් තිබෙනවා.

මේ සම්බන්ධව අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් එච්. තිලකවර්ධනගෙන් කළ විමසීමේ දී ඔහු කියා සිටියේ මධ්‍යම පරිසර අධිකාරිය හා වනජීවී දෙපාර්තුමේන්තුවේ අනුමැතිය මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දී නොතිබු අතර, දැනට පාරිසරික ඇගයීම් වාර්තාවක්  සිදු කර ඇති හෙයින් ඉදිරියේ දී  රුවල් යාත්‍රා කර්මාන්ත ශාලාවේ වැඩ ආරම්භ කිරිමට නියමිතව ඇති බවයි.