Wednesday, April 24, 2024

General line - 0115112241

"සිංහලෙන් තමයි පළමුවෙනියට ලියන්න ඕනේ කියලා නීතියක් කොතනවත් නෑ" - රාජ්‍ය භාෂා ඇමති

ඩිල්ෂාන් මඩවල/ පසන් වික්‍රමතිලක




උතුරේ නාම පුවරු සම්බන්ධයෙන් පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් සිදු කළ ප‍්‍රකාශයට ආණ්ඩුව අද (21) ප‍්‍රතිචාර දැක්වූවා.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ප‍්‍රකාශ කර තිබුණේ උතුරේ නාම පුවරුවල අදාළ නම් පළමුව දෙමළ බසින්ද දෙවනුව ඉංග‍්‍රීසි බසින් හා අවසානයේ සිංහල බසින් ද පළ කළ යුතු බවයි.

මේ, ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට ප‍්‍රතිචාර දැක්වූ ජාතික සංවාද, ප‍්‍රතිසංධාන හා රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කළේ "අපේ රටේ සිංහල සහ දෙමළ දෙකම රාජ්‍ය භාෂා සහ ජාතික භාෂා.  උතුරු නැගෙනහිර දෙමළ බස කතා කරන ජනතාව වැඩි වශයෙන් ඉන්නවා. ඒ පළාත්වල නාමපුවරු ලියනකොට දෙමළ භාෂාව පළමුවෙන්ම..ඊට පස්සේ සිංහල ලියන්න පුළුවන්..ඒකේ වැරැද්දක් නෑ. සිංහලෙන් තමයි පළවෙනියෙන් ලියන්න ඕනේ කියලා නීතියක් කොහෙවත් නෑ. සිංහල බහුතරය ඉන්න තැන්වල සිංහල භාෂාවෙන් පළමුවෙන් ලියන්න පුළුවන්." යනුවෙනි. 

තවද දෙමළ නම් පරිවර්තනය නොකර දෙමළ ව්‍යවහාරයෙන්ම නාම පුවරුවල දැක්විය යුතු බවයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ප‍්‍රකාශ කර තිබුණේ. ඒ අනුව උතුරේ නාගදීපයක් නොමැති බවද ඇත්තේ නයිනතිව් පමණක් බවද ප‍්‍රධාන අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා. එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ද නෙත් නිවුස් විෂයභාර අමාත්‍ය මනෝ ගනේෂන්ගෙන් විමසා සිටියා. එහිදී "සිංහලෙන් නයිනතිව් කියා ලියන්නත් බෑ.. දෙමළෙන් නාගදීපය කියලා ලියන්නත් බෑ. " යනුවෙන් සඳහන් කළා. විවිධ භාෂාවල උච්චාරණය අනුව නම් වෙනස් විය හැකි බවද සඳහන් කළා.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් හිටපු විෂයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාරයෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ ප‍්‍රදේශයේ බහුතර ජනතාවක් කතා කරන භාෂාව අනුව නාම පුවරු සැකසීම සාමාන්‍ය ක‍්‍රමවේදය බවයි.