Thursday, April 25, 2024

General line - 0115112241

හජ් උත්සවය වෙනුවෙන් ජනපති සහ අගමැතිගෙන් මුස්ලිම් ප්‍රජාවට සුබ පැතුම්




ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද (22) හජ් වන්දනාව සමග එක්වනවා. හජ් වන්දනාව ඉස්ලාම් බැතිමතුන්ට වැදගත් උත්සවයක්.

හජ් වන්දනාව වනාහී දේවත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා දිව්‍යමය වූ බන්ධනය විචිත්‍රාකාරයෙන් දනවන්නක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය හජ් සුබපැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙනවා.

එම පණිවිඩය මෙසේයි.

"ලොව ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් එකම අරමුණකින් බැඳී, එකම පූජා භූමියකට රැස්ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ අගය උත්කර්ෂයට නංවන හජ් උත්සවය වූ කලි සමාජීය සහජීවනයේ මහිමය ලෝක ප්‍රජාවට සන්නිවේදනය කරන ප්‍රමුඛ ආගමික උලළකි.

මානව ඉතිහාසයේ පවා මිනිසුන් සාමූහිකව ඒකරාශී වූයේ ආගමික පූජා කර්ම උදෙසා ය. ස්වකීය ආගම හා බැඳුණු වත් පිළිවෙත් සුරැකීම මෙන්ම ඔවුනොවුන් අතර සහසම්බන්ධය ද එදා මෙදා පූජෝත්සව මඟින් වර්ධනය විණි.

හජ් වන්දනාව වනාහි දේවත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා දිව්‍යමය වූ බන්ධනය විචිත්‍රාකාරයෙන් දනවන්නකි. ජාතිකත්වයේ හෝ පුද්ගල තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු බැතිමතුන් එක ම නොබෙදුණු මිනිස් ප්‍රජාවක් ලෙස මුසු වී දෙවියන් නමදින මහා ආගමික පූජෝත්සවයක් ලෙස හැඳින්විය හැකිය.

විවිධ බෙදීම්වලින් එකම මිනිස්වග අවුලින් අවුලට පත් ලොවෙක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ හජ් උත්සවය පුළුල් ආදර්ශයක් සපයයි.

ශුද්ධ වූ මක්කම භූමිය කේන්ද්‍ර කොට ගනිමින් මනුෂ්‍යයන් අතර සාදර සමානාත්මතාවේ පණිවුඩය රැගෙන හජ් වතාවත්හි නියැළෙන මෙරට සියලු ඉස්ලාම් බැතිමතුන්ටත්, ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවටත් උතුම් ඊදුල් - අල් හා උළෙලක් වේවා යි හෘදයාංගම ශුභාශිංසන පිරිනමමි."

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හජ් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ සහෝදරත්වය, සමානාත්මතාව ගොඩනැංවීම උදෙසා පරිත්‍යාගශීලී ජීවිතයකට දිරිගන්වන හජ් උත්සවය සමස්ත ලෝකවාසීන්ට ආදර්ශයක් බවයි.

එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙනවා.

"හජ් වන්දනාව ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකේ. ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන් තමන් වෙහෙස මහන්සි වී උපයාගත් මුදලින් කොටසක් වියදම්කර මක්කම නගරයට ගොස් වන්දනාමාන කිරීමෙන් දෙවියන් වහන්සේ කෙරෙහි තිබෙන්නා වූ විශ්වාසය නැවතත් තහවුරු කිරීම මෙහිදී සිදුවේ.

සියලු භේද දුරලා ලොව නන්දෙසින් පැමිණෙන මුස්ලිම් බැතිමතුන් එකට එක්වී සිදුකරන මෙම වන්දනාව ලෝක සාමය වෙනුවෙන් ආගමික වතාවත් ඉටුකරන ජාත්‍යන්තර සමුළුවක් වශයෙන් ද සැලකෙන අතර, මෙමඟින් සමානාත්මතාව සහ සහෝදරත්වය පිළිබඳව ලෝකයට දෙන පණිවුඩය ඉතා වැදගත්ය.

ඉබ්‍රහිම් නබිතුමා තම පුතණුවන් වූ ඉස්මායිල් නබිතුමන්ව දෙවියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වීම සැමරීම සඳහා ද හජ් උළලේ ප්‍රමුඛ තැනක් ලැබේ. බැතිමත් මුස්ලිම් ජනතාව තුළ අල්ලාහ් දෙවියන් පිළිබඳ පවතින විශ්වාසය, කැපවීම ශක්තිමත් කරමින්, සහෝදරත්වය සමානාත්මතාව ගොඩනැංවීම උදෙසා පරිත්‍යාගශීලී ජීවිතයකට දිරිගන්වන හජ් උත්සවය සමස්ත ලෝකවාසීන්ට ආදර්ශයකි.

ඊදුල් අල් හා උත්සවය සමරන්නට සහෝදරත්වයෙන් අත්වැල් බැඳගත් සියලූ මුස්ලිම් බැතිමතුන්ට සාමය සහ සතුටවේවායි හෘදයාංගම සුභාශිංසන එක්කරමි."

මේ අතර පරිත්‍යාගශීලී දිවියේ වැදගත්කමත්, එමගින් මනුෂ්‍යයාට අත්වන ප‍්‍රතිලාභත් පිළිබඳ හජ් උත්සවය මගින් මතක් කර දෙන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසනවා. ඒ, හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්. මෙම ශුද්ධ වූ උත්සවය සමරන මොහොතේ ආත්මාර්ථකාමී ආකල්පවලින් බැහැරව අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් ආත්ම ගෞරවය හා සාමයෙන් යුතුව ජිවත්විය හැකි රටක් ගොඩනැගීමට එක්වන ලෙසට ආර්. සම්බන්ධන් මහතා සියලූ ජනතාවට ආරාධනා කරනවා.

ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ප්‍රජාවට ආශිර්වාදාත්මක හජ් උලෙළකට nethnews.lk ද සුබ පැතුම් එක් කර සිටිනවා.