Friday, April 26, 2024

General line - 0115112241

සමූහ මිනීවලෙන් සිරුරු 66ක කොටස් මතුවෙයි - පරීක්ෂකයන්ගේ නිරීක්ෂණයට අනුව මතයක් එළියට

මාධව කුලසූරිය




මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවල කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ කැනීම් කටයුතු නැවත ඊයේ (21) ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ පැවසුවා.

සමූහ මිනීවල කැනීම් කටයුතු තාවකාලිකව පසුගිය 10 වැනිදා නවතා දැමූ අතර, 56 වන දිනට ඊයේ (21) නැවත කැනීම් කටයුතු සිදුකළා.

අදාළ සමූහ මිනීවල කැනීම තුළින් මේ දක්වා මිනිස් සිරුරු 66 කට අදාළ අස්ථි කොටස් හමුවී ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ පෙන්වා දෙනවා.

ඔහු පැවසූවේ සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 40 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර ගැනීමට හැකිවී ඇති බවයි.

කැනීම් මගින් ඉවත් කළ සිරුරු කොටස් මුද්‍රා තබා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කොට ඇති බවද හෙතෙම සඳහන් කළා.

මුලින් පස් ඉවත් කළ කොටසේ අස්ථි සෙවීමේ කටයුතු මේවන විට මතුකරගෙන පවතින අතර, අදාළ ස්ථායට එපිටින් වන අනෙකුත් ස්ථාන කැනීම් පරීක්ෂා කිරීම දෙවන අදියර යටතේ සිදුකරන බවද හෙතෙම පැවසුවා. 

මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

පුරාවිද්‍යා නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්, අධිකරණ වෛද්‍ය නිළධාරීන්ගේ මෙහෙයවීම යටතේ වර්තමානයේ දින 56 ක කාලයක් අදාළ ස්ථානයේ මේ වන විට පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදි මිනිස් සිරුරු 66 කට අදාළ හිස් කබල් කොටස් හා තවත් අස්ථි කොටස් සොයාගෙන ඇති බවද මන්නාරම පොලිස් නිළධාරීන් පැවසුවා.

මීට පෙරද මන්නාරම තිරුකේදීශ්වරන් කෝවිල වෙත පිවිසෙන මාර්ගයේ ජල නළ පද්ධතියක් එළීම සිදුකළ පිරිසකටද මෙවැනි ස්ථානයක් හමුවු අතර, එහිදී ද මිනිස් සිරුරු 85 කට ආසන්න ප්‍රමාණයක අස්ථි කොටස් හමුවුණා.

අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් එවකට අනුරාධපුර රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි ලෙස කටයුතු කළ ඩී.එල්. වෛද්‍යරත්න පරීක්ෂණ සිදුකළ අතර, අදාළ අස්ථි කොටස් වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් අනුරාධපුර රෝහල වෙත රැගෙන යාමද එහිදි සිදුකෙරුණා. එහිදි අනාවරණය වුයේ අදාළ ස්ථානය පැරණි සුසාන භූමියක් වන බවයි.

වර්තමාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේවගෙන් විමසීමේදී ඔහු පැවසූවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.

අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තිබෙන බව නිරීක්ෂණය වූ බවද හෙතෙම සඳහන් කළා.