Friday, April 19, 2024

General line - 0115112241

අපිට ‘‘සංවර්ධනය වෙමින් පවතින රටක්’’ යන්නෙන් ගැලවෙන්න බැරි හේතු ආර්ථික විශ්ලේෂකයන් පෙන්වයි




‘‘සංවර්ධනය වෙමින් පවතින රටක්’’ යන දර්ශකයෙන් ඉදිරියට යාම ශී‍්‍ර ලංකාවට මේ වනවිට දැඩි අභියෝගයක් බවට පත්වෙමින් ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

ඊට ප‍්‍රධාන ගැටලූ කිහිපයක් බලපා ඇති බවයි ඔවුන්ගේ අදහස වන්නේ.

ශී‍්‍ර ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ පෙන්වා දෙන්නේ "අප ආර්ථික අතින් නිදහසක් තවම ලබලා නෑ. ඒ නිසා අපිට ස්ථාවර විදේශ විනිමය ලැබෙනවත් ස්ථාවර ආර්ථික තත්ත්වයක් ඇති කර ගන්නවත් හැකියාවක් ලැබිලා නෑ. ඒකට කරන්න තියෙන ප්‍රධානම දේ තමයි අපිට ස්ථාවර අඩිතාලමක් සහිත කර්මාන්ත සහ සේවා ගොඩනගා ගැනීම." යනුවෙනි.

රට තුළ නව රැකියා බිහි කිරිම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තක් බවයි ඔහු පෙන්වා දුන්නේ. 

වඩාත් ස්ථාවර ලෙස විදේශ විනිමය ශී‍්‍ර ලංකාවට ගලා ඒම මේ වනවිට අභියෝගයක් බවට පත්ව ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න කියා සිටියා.

ගතවූ වසර 15දී මෙරට අපනයනය දුර්වල තත්ත්වයකට පත්වූ බව ඔහු පෙන්වා දෙනවා. එය ද ‘‘සංවර්ධනය වෙමින් පවතින රටක්’’ යන දර්ශකයෙන් ඉදිරියට යාමේදී ශී‍්‍ර ලංකාවට අභියෝගයක් බවයි ප‍්‍රකාශ කෙරුණේ.

පළමුව සිදු කළ යුත්තේ අායෝජන ශක්තිමත් කිරීම බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එසේ නොවුනහොත් මෙරට අපනයනයට, ආර්ථික වර්ධනයට, විනිමය අනුපාතයට, ණය බරට, බදු ආදායමට සහ අයවැය හිඟයටද එමගින් බලපෑම් එල්ල වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින්ගේ මතයයි. එය කෙටි කාලයක් තුළ සිදු කළ හැක්කක් නොවනු ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.