Thursday, March 28, 2024

General line - 0115112241

"SLT Speedup" පාපැදි සවාරියේ තෙවැන්න සැප්තැම්බරයේදී




ශ‍්‍රී ලංකාවේ පාපැදි ක‍්‍රීඩාව ඉහළ තලයට ඔසවාතැබූ, මෙරට පැවැත්වෙන දීර්ඝතම පාපැදි සාවරිය සහ වාර්ෂිකව පැවැත්වෙන මෙරට අංක එකේ පාපැදි ඉසව්ව වන,"SLT Speedup"  පාපැදි සවාරියේ තෙවැන්න සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම පාපැදි සවාරියේ පිරිමි ඉසව්ව සැප්තැම්බර් 4 වැනිදා ඇරඹී සැප්තැම්බර් 08 වැනිදා අවසන් වීමට නියමිත අතර කාන්තා ඉසව්ව සැප්තැම්බර් 07 සහ 08 යන දෙදින පැවැත්වීමට නියමිතය. ශ‍්‍රී ලංකා පාපැදි තරග ඉතිහාසයේ කාන්තාවන් සඳහා දෙදින තරගයක් ක‍්‍රියාත්මක වන පළමු අවස්ථාව බවට මෙය පත්වනු ඇත. 

මෙරට පාපැදි තරග ඉතිහාසයට තවත් පරිච්ජේදයක්  එක් කරමින් පළමු වරට පැවැත්වෙන "පැරා පාපැදි ඉසව්ව" සැප්තැම්බර් 08 වැනිදා පැවැත්වීමට කටයුතු  යොදා තිබේ. 

මෙවර පිරිමි ඉසව්ව කොළඹින් ඇරඹී කිලෝමීටර 820ක දුරක් ගෙවා කුලියාපිටියෙන් අවසන් වන සේ ගමන් මාර්ගය සලකුණු කර ඇති අතර, කාන්තා ඉසව්ව කොළඹින් ඇරඹී කිලෝමීටර 175ක දුරක් ගෙවා කුලියාපිටියෙන්ම අවසන් වන සේ මාර්ගය දක්වා තිබේ. කුරුණෑගලින් ඇරඹෙන පැරා ඉසව්ව කිලෝමීටර 75ක දුරක් ගෙවා කුලියාපිටියෙන් අවසන් වීමට නියමිතය.

මෙරට ප‍්‍රමුඛතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනය හා එක්ව මෙම පාපැදි සවාරිය සංවිධානය කරයි.

SLT  විසින් මේ සඳහා නවීනතම තාක්‍ෂණය ඉහළින්ම යොදාගැනීමට කටයුතු යොදා ඇති අතර ඒ අනුව ඉදිරියෙන්ම ධාවනයේ යෙදෙන ක‍්‍රීඩකයන් හඳුනාගැනීම සඳහා ස්වයංක‍්‍රීය හඳුනාගැනීමේ ක‍්‍රමවේදයක්, ප‍්‍රතිඵල ගණනය කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික් කාල ගණනයන් ආදිය ඒ අතර වේ. ශ‍්‍රී ලංකාවේ පාපැදි ක‍්‍රීඩාවේ ප‍්‍රමිතිය ඉහළ නැංවීම එහි අරමුණ වේ.

පාපැදි ක‍්‍රීඩාව යනු මෙරට වඩාත් ජනප‍්‍රිය මෙන්ම වඩාත් ආශ්වාදනීය ක‍්‍රීඩාවක් වේ. මෙම වැදගත්කම සැබෑලෙසින් හඳුනාගනිමින් , සමාජ වගකීමක් සහිත ආයතනයක් ලෙසින් සිය යෙදීමට තවත් උදහාරණයක් සපයමින් වර්ෂ 2016 දී SLT විසින් "SLT Speedup" සවාරිය ආරම්භකරනු ලැබුවේ මෙම ක්‍ෂේත‍්‍රයේ දක්‍ෂයන් ගැන රටට හඬගා කියන අතරවාරයේ ඔවුන්ට නිසි ඇගයුම ලබා දීමේ අරමුණින් යුතුවය.

මෙම ඉසව්ව තුළ යෞවනයන්ට අවස්ථාව ලබාදීම උදෙසා මෙහි තරගවදින කණ්ඩායමකට වයස අවුරුදු 23න් පහළ ක‍්‍රීඩකයන් දෙදෙනෙක් හෝ අවම වශයෙන් ඇතුළත් වන පරිදි කණ්ඩායම් සංයුතිය පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබේ.

මෙයට අමතරව මෙම තරගාවලිය හේතුවෙන් රටෙහි පාපැදි ක‍්‍රීඩාව පිළිබඳව ඇතිවන උනන්දුව හරහා එය සෞඛ්‍ය, පාරිසරික සහ ආර්ථික වටිනාකමක් වෙත යොමුකිරීමටද SLT ඉලක්ක කර ඇත.

මෙම පාපැදි සවාරිය මෙරට පාපැදි ක‍්‍රීඩකයන් විසින් මෙන්ම ක‍්‍රීඩා ලෝලී ජනතාව විසින් වැඩිම උනන්දුවෙන් යුතුව සැරසෙන මෙරට පාපැදි තරග කැලැන්ඩරයේ වැඩිම අවධානයට පත්වන ඉසව්ව බවට පත්වන අතරම එහි ජයග‍්‍රාහකයන් සඳහා දැවැන්ත මුදල් ත්‍යාග ද පිරිනමනු ලබයි. 

ඒ අනුව "SLT Speedup" සවාරියේ පිරිමි අංශයේ තරගයේ ජයග‍්‍රාහකයාට රුපියල් මිලියනයක් ද කාන්තා සහ පැරා අංශයේ පළමු ස්ථානය වෙනුවෙන් පිළිවෙලින් රුපියල් 250,000 සහ රුපියල් 150,000 බැගින්ද පිරිනැමීමට කටයුතු යොදා තිබේ.