Saturday, April 20, 2024

General line - 0115112241

දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි

සජිත් තිලකරත්න




උද්ධමනය දිගින් දිගටම වැඩි වෙමින් තිබීම නිසා ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන මට්ටම පහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවනවා. ඔවුන් මෙම අනතුරු ඇඟවීම කළේ අඛණ්ඩව මාස 03ක් උද්ධමනය වැඩිවීම පිළිබඳව නෙත් නිවුස් කළ විමසීමකදීයි. 

ඉකුත් ජූලි මාසයේ ශ‍්‍රී ලංකාවේ උද්ධමනය සියයට 3.4ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවා.

ඉකුත් ජනවාරි මාසයෙන් පසු ශ‍්‍රී ලංකාවෙන් වාර්තාවූ වැඩිම උද්ධමන අගය ද මෙයයි. 

ඒ පිළිබඳ කරුණු දක්වන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජනත් කුමාරසිංහ පෙන්වා දුන්නේ ඩොලරයේ පහළ යෑම සහ රටේ නිෂ්පාදන අඩුවීම මීට බලපා ඇති බවයි. උද්ධමනය වැඩිවීමත් සමග බදු බර ද වැඩිවීම නිසා ජනතාව වඩාත් පීඩාවට පත්වන බවත් එය ජාතික ආර්ථිකයට ඉතා නරක තත්වයක් බවත් මෙහිදී විස්තර කෙරුණා. 

උද්ධමනය අඩුකර ගැනීම සඳහා ගතහැකි විසඳුම් ද මෙහිදී නිර්දේශ කෙරුණා. 

ඒ අනුව මේ සඳහා ගැනීමට ඇති ක්ෂණික ක්‍රියාමාර්ගය වනුයේ හැකි ඉක්මණින් අපගේ නිෂ්පාදන වැඩිකර ගැනීම බවයි පෙන්වා දුන්නේ. ඒ අනුව දේශීය නිෂ්පාදකයන් දිරිමත් කිරීමක් සිදු කළ යුතුව ඇති බවද පෙන්වා දුන්නා.

මේ අතර පොලී අනුපාත ඉහළ යාමේ නරක ප‍්‍රවණතාවක් ඇති රටවල් අතර ශී‍්‍ර ලංකාවද සිටින බව මූඞීස් ජාත්‍යන්තර අයෝජන සේවා සමීක්ෂණ ආයතනය ඉකුත්දා කියා සිටියා. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ රටතුළ ඇති විදේශීය සංචිත ඉක්මවා ණය ආපසු ගෙවීමට සිදුව තිබීමයි. පොලී අනුපාත මෙලෙස ඉහළයාම ද රටේ නිෂ්පාදන ක‍්‍රියාවලිය අධෛර්ය කිරීමට බලපෑම් කරන බව ආර්ථික විශේෂඥයින් පැවසුවා.