Friday, April 19, 2024

General line - 0115112241

කිසිදු පොහොරක් නැතිව ජලය පමණක් යොදාගෙන වගා කරන සොබාදම් ගොවි පොළෙහි අස්වනු නෙළයි (PHOTOS)

කාංචන කුමාර ආරියදාස




කාබනික හෝ කිසිදු රසායනික පොහොරක් නොයොදා කන්ද උඩරට වගාකෙරෙන කැරට් ඇතුළු එළවළු වගාවන් රැසක් නාඋල හාඩුව ප්‍රදේශයේ ගොවිපලක අස්වනු නෙලීම මේ දිනවල සිදු කෙරෙනවා.  ඒ පරිසරවේදියකු වන තිලක් කන්දේගම ගේ සොබාදහමේ ගොවිපොළෙහිය .

ඉර නැගීම ඉර බැසීම ආදී සොබාදහමේ විද්‍යාත්මක ක්‍රමයන් හඳුනාගෙන මෙහි වගාවන් සිදු කරන බව ඔහු පවසනවා. ඒ අනුව කිසිදු කාබනික හෝ රසායනික පොහොර නොයොදා ජලය පමණක් යොදාගෙන කෘමි උවදරකින් හෝ ශාක වලට එන රෝගයකින් තොරව එළවලු වගාව මෙම ගොවිපළේ දී සිදු කිරීම විශේෂත්වයකි. මෙම ගොවිපළේ කන්ද උඩරට වගා කෙරෙන කැරට්, බිට්,අර්තාපල් ,රාබු ආදී එළවළු වර්ග රැසක් වගා කොට තිබෙනවා.

නියං සමයේදී වගාකළ කැරට් අස්වනු මේ දිනවල නෙලීම විශේෂත්වයකි. එමෙන්ම ස්වභාදහම් ගොවිපලේ විශේෂ බණ්ඩක්කා වර්ගයක් දැක ගැනීමට හැකියාව ලැබුණි. පැරැන්නන් ඇත්දල බණ්ඩක්කා නමින් හඳුන්වන ලැබූ එම බණ්ඩක්කා විශේෂය ඉතා සරුවට මෙහි වගා කොට තිබිණි. එක් බණ්ඩක්කා කරලක් අඩියක ටත් වඩා දිගය. එළවළු වගාවට අමතරව මෙම ස්වභාදහම් ගොවිපලේ පළතුරු වගාවන් රැසක් ද  දැක ගැනීමට හැකිය.

එමෙන්ම නුවරඑළියේ වැවෙන අලංකාර මල් වර්ග නාඋල මෙම ගොවිපළේ වගා කර තිබෙනවා.

පරිසරවේදී තිලක් කන්දේගම කියා සිටියේ නාඋලට ඉර පෑයීම පැය දෙකකින් පමාවී සිදුවීමත් ඉර බැසීමේදී කඳු මුදුන් නිසා බැසයන ඉරි අව් රශ්මිය නොදැනීම නිසා එමෙන්ම අවට සීත ප්‍රදේශවල පවතින සුළං රැළි නාඋල මෙම ප්‍රදේශය හරහා ගමන් කිරීම හේතුකොටගෙන වගාව සාර්ථකව සිදු කිරීමට හැකි බවය.

කිසිදු කෘමිනාශක හෝ රසායනික දෙයක් කාබනික පොහොර නොයොදා ඉර හඳ බලා මෙම වගාවන් සිදු කිරීමේදී කිසිදු කෘමි උවදුරක් හෝ ලෙඩ රෝග බෝ වීමක් සිදු නොවන බව ද හෙතෙම සඳහන් කළා.