Thursday, April 25, 2024

General line - 0115112241

මුහුදු බෝම්බයක් පුපුරායයි - ධීවරයෙක් මරුට පිරිසකට තුවාල (PHOTOS)

දිනසේන රතුගමගේ




මන්නාරමේ පල්ලිමුනෙයි ප්‍රදේශයෙන් 31 දා රාත්‍රී මුහුදු ගිය ධීවරයින් හතර දෙනෙකු මුහුදු බෝම්බයකට හසුවීමෙන් එක් ධීවරයෙකු මරුමුවට පත්වී තවත් ධීවරයින් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ ධීවරයින් පිරිස ගමන් කළ බෝට්ටුව නාච්චිකුඩා මුහුදේදී මුහුදේ පාවී ආ මුහුදු බෝම්බයක ගැටීමත් සමගම බෝම්බය පිපිරී ගොස් ඇත. මුහුදු බෝම්බය පිපිරීමෙන් පසුව ජේ.රන්ජිත් නැමති 39 හැවිරිදි ධීවරයා ඒ අවස්ථාවේදීම මිය ගොස් තිබෙනවා.ඔහුගේ මළ සිරුර මුහුදට වැටුණු බවත් තුවාල ලැබූ තවත් ධීවරයෙක් ඔහුගේ මළ සිරුර මහත් ආයාසයෙන් බෝට්ටුවට දමා ගත් බවත් තුවාල ලැබූ ධීවරයින් පොලීසියට පවසා ඇත.

මුහුදු බෝම්බය පිපිරී යාම නිසා ඔවුන් ගමන් ගත් බෝට්ටුවටද දැඩි අලාභ හානි සිදු වී ඇති අතර මේ අනතුර සම්බන්ධයෙන් දැණුම් දීමෙන් පසුව තවත් ධීවර බෝට්ටුවකින් පැමිණි පිරිසක් ඔවුන්ට උදව් කොට මන්නාරමේ වෙරළට අනතුරට පත් බෝට්ටුව රැගෙනවිත් තිබෙනවා. මුහුදු බෝම්බයට හසු වූ බෝට්ටුවේ සිටි එම්.පිගරාඩෝ,හා ඒ.ඒ.පියදිගෝ යන ධීවරයින් දෙදෙනා බරපතල තුවාල ලබා ඇති අතර ඇන්ටන් පිගරාඩෝ නැමති ධීවරයා සුළු තුවාල ලබා ඇත. අනතුර පිළිබදව සෙසු ධීවරයින්ට දැණුම් දී මියගිය ධීවරයාගේ මළ සිරුරද මුහුදෙන් ගොඩ ගෙන තුවාල කරුවන් ගොඩට රැගෙන ඒමට කටයුතු කොට ඇත්තේ මේ සුළු තුවාල ලැබූ ධීවරයාය.

තුවාල කරුවන් මන්නාරම රෝහලට ඇතුළත් කොට තිබේ. මන්නාරම පොලීසිය හා මන්නාරම සහකාර ධීවර අධ්යයක්ෂ කාර්යාලය මේ සිද්දිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.