Saturday, April 20, 2024

General line - 0115112241

අඛණ්ඩව ටෙස්ට් තරග 158 ක් ක්‍රීඩා කළ හිටපු එංගලන්ත නායකයා ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට සුදානම්

දිනුක් හේවාවිතාරණ




එංගලන්තයේ හිටපු නායක ඇලෙස්ටයාර් කුක් සිය ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඉන්දියාව සමග පැවැත්වෙන 05 වන ටෙස්ට් තරගයෙන් පසු තමන් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කළ බවට එංගලන්තයේ හිටපු නායකයා නිවේදනය කළා.

සිය රටින් පිට පැවති 2010/11 වසරේ අළු බදුන තරගාවලිය ජයග්‍රහණය කිරීම සහ 2012/2013 වසරේදී ඉන්දියාවට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයන් සදහා එංගලන්ත කණ්ඩායම මෙහෙයවූ ඇලෙස්ටයාර් කුක් දැක්වූ සුවිශේෂී දස්කම් අතර ඉහලින්ම තිබෙන බවයි ක්‍රිකට් විචාරකයින් සදහන් කරන්නේ.

2016 වසර අග භාගයේදී නායකත්වයට සමුදුන් ඇලෙස්ටයාර් කුක් ගෙන් ඉන් පසුව පිතිකරුවෙක් වශයෙන් දැක්වූ සාමාන්‍ය පැවතියේ 35ක් ලෙසයි. මේ වසරේදී ඔහුට පිතිකරුවෙක් වශයෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට හැකිවුයේ එක් වරක් පමණයි. 

" පසුගිය කාලයේ එල්ලවූ විවේචන සමග මම කල්පනා කළා. මේ තමයි හොදම අවස්ථාව සමුගැනීමට. මම මගේ උපරිමය කණ්ඩායම වෙනුවෙන් දුන්නා. ඒ ගැන හිතනකොට මම සතුටු වෙනවා. ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය මගේ ක්‍රීඩා දිවියේ ක්‍රීඩා කරන අවසන් තරගයයි. ඒක මට දුකක්. නමුත් මේ සමුගැනීමට හොදම කාලයයි" යනුවෙන් සිය සමුගැනීම ගැන නිවේදනයක් නිකුත් කරමින් ඇලෙස්ටයාර් කුක් නිවේදනය කළා.

ටෙස්ට් තරග ඉතිහාසයේ කිසිවෙකුටත් බිඳ හෙලිමට හැකිවේදැයි සිතිය නොහැකි අසීරු වාර්තාවකට හිමිකම් කියන්නේ හිටපු එංගලන්ත නායකයා වීමද විශේෂත්වයක්. මේ වන විට ටෙස්ට් තරග 160 කට ක්‍රීඩා කර ඇති ඔහු ඉන් තරග 158 ක්ම අඛණ්ඩව ක්‍රීඩා කළ ලොව එකම ක්‍රීඩකයා වන අතර අවසන් ඉන්දීය ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරිමත් සමග එය තරග 159 දක්වා ඉහල යාමට නියමිතයි.

ටෙස්ට් තරග 160 කට ක්‍රීඩා කර ඇති ඇලෙස්ටයාර් කුක් ඉන් ඉණිම් 289 කදී වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 12,254 ක් වන අතර එයට ශතක 32ක් හා අර්ධ ශතක 56ක් ඇතුලත්. එක්දින තරග 92 කදී වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 3204 ක් වන අතර එයට ශතක 5ක් සහ අර්ධ ශතක 19ක් ඇතුලත්. විස්සයි 20 තරග 4 කට ක්‍රීඩා කර ඇති කුක් එහිදී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 61 ක් වනවා.

ඉන්දියාව සමග පැවැත්වෙන තරග 05 කින් යුත් ටෙස්ට් තරගාවලිය එංගලන්තය මේ වන විටත් තරග 3-1 ක් ලෙස ජයග්‍රාහණය කර අවසන්.