Saturday, April 20, 2024

General line - 0115112241

කැනීම් නිලධාරීන් පුදුම කරමින් තවමත් ඇටසැකිළි මතුවන මිනීවලෙන් ප්‍රශ්න රැසක් (PHOTOS)

දිනසේන රතුගමගේ




මන්නාරම සතොස තොග ගබඩාව අසලින් හමු වූ සමූහ මිනීවලෙන් හමුවන මිනිස් ඇටසැකිළි ප්‍රමාණය පිළිබඳව පෙර තක්සේරුවක් කිරීමට කිසිසේත්ම නොහැකි බව සමූහ මිනීවලේ කැණීම් බාර නිලධාරීන් ප්‍රකාශ කරනවා.

සැප්තැම්බර මස 4 දා උදෑසන කැණීම් කටයුතු ආරම්භ කළ අවස්ථාවේද මිනිස් ඇටසැකිළි දෙකක් හමු වී ඇති අතර ඒවා සමගින් මේවන විට හමු වූ මිනිස් ඇටසැකිළි ප්‍රමාණය 111ක් වී තිබෙනවා.

මෙසේ හමු වූ මිනිස් ඇටසැකිළි පරීක්ෂණ කටයුතු සඳහා යවා ඇති නමුත් මුලදී අධිකරණ තීන්දුවක්ද ලබා ගත් අන්දමට මෙම ඇටසැකිළි අමෙරිකාවේ ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලයේ රසායනාගාරය වෙත යැවීමේ කටයුතු බලධාරීන්ට තව දුරටත් ප්‍රමාද කිරීමට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම සමූහ මිනීවලෙන් මෙතරම් මිනිස් ඇටසැකිළි ප්‍රමානයක් හමු වන බවට විශ්වාස නොකළ අතර ඒ අවස්ථාවේදී තීරණය කරන ලද්දේ හමු වූ මිනිස් ඇටසැකිලි ප්‍රමාණය අමෙරිකාවට යැවීමටයි.

නමුත් ඊට දින කීපයකට පසුව මිනීවලේ තිබී කාන්තාවන්ට හා ළමයින්ට අයත් ඇටසැකිළි හමුවීමෙන් පසුව දැන් තීරණය කොට ඇත්තේ මෙම සමූහ මිනීවලෙන් හමුවන සියළුම ඇටසැකිළි සොයා ගැනීමෙන් පසුව එම ඇටසැකිලි සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි.

දැනට පවතින තත්ත්වය අනුවද මෙම ඇටසැකිළි සම්බන්ධයෙන් තීරණයක් ගැනීම විශාල ප්‍රශ්නයකට ලක්ව තිබෙනවා. ඇටසැකිළි 111 ක් වැනි විශාල ප්‍රමාණයක් අමෙරිකාවට යවා ඒ සම්බන්ධයෙන්  කාබන් පරීක්ෂණයක් පවත්වා වාර්තා ලබා ගැනීමට විශාල මුදලක් වැය වීම ඊට හේතුවයි.

මේ සම්බන්ධයෙන් වැයවන මුදල අධික නිසා එම මුදල දැරීමට කිසිවෙකුත් එකඟ නොවන තත්ත්වයක් දැනටමත් පැන නැගී ඇති බවද සඳහන්.