Thursday, April 25, 2024

General line - 0115112241

‘‘ජනබලය කොළඹට’’ පිරිස රැස්වී විශේෂ තීරණයක් ගනී

ඩිල්ෂාන් මඩවල/ නිශාන් ද සිල්වා




‘‘ජනබලය කොළඹට’’ ආණ්ඩු විරෝධි රැළිය අද (05) පැවැත්වෙනවා. කෙසේවෙතත් මෙම රැළිය ආරම්භ කරන හෝ අවසන් කරන ස්ථාන මේ දක්වාත් ප‍්‍රකාශ වී නැහැ. 

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04) රාත‍්‍රියේ ද රැස්වුණා. එහිදී ද තීරණය කර ඇත්තේ රැළිය ආරම්භ කරන සහ අවසන් කරන ස්ථාන තීරණය කිරීම තවදුරටත් ප‍්‍රමාද කිරීමටයි. 

ආණ්ඩුවට ඇති විරෝධය පළ කිරීම සඳහා ‘‘ජනබලය කොළඹට’’ රැළියට එක්වීමට බොහෝ පිරිස් දැනටමත් කොළඹට පැමිණ සිටින බවද උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා. 

එහිදී "අපි ඊයේ (04) ගත්තු තීරණයක් අනුව අද (05) රාත්‍රිය හෙට එළිවෙන තුරු කොළඹ නගරයේ ගත කිරීමට තීරණය කළා. ඒ අනුව මෙය නොනිදන අරගලයක් බවට පත් වේවි." යනුවෙන්ද සඳහන් කළා.

ඉකුත්දා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමෙන් 15 දෙනෙකු ද අද පැවැත්වෙන රැළියට සහභාගී වන බව ප‍්‍රකාශ කර තිබෙනවා. ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවට ද පැමිණ සිටි බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ. 

කෙසේ වෙතත් මෙම රැළියට තමන් සහභාගී නොවන බව 16දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පැවසුවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම රැළිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධාන කරන්නක් නොවන බැවින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඊට සහභාගී විය නොහැකි බවයි. 

මේ අතර ‘‘ජනබලය කොළඹට’’ රැළියේ සැබෑ අරමුණ ආණ්ඩුවට විරෝධය පළ කිරීම නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල පැවසුවේ මහජන අවධානය වෙනස් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය මෙම රැළිය සංවිධාන කර ඇති බවයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම ද පවසන්නේ සිය පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය මෙම රැළිය සංවිධාන කර ඇති බවයි. එහි ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක මේ බව පෙන්වා දෙනවා.

අද පැවැත්වීමට නියමිත සුනාමි පෙරහුරුව පිළිබඳව කෙරෙන චෝදනා සම්බන්ධයෙන් ද ආපදා කළමනාකරණ  අමාත්‍යවරයා ලෙස දුමින්ද දිසානායක ප‍්‍රතිචාර දැක්වූවා. ඒ, මෙම පෙරහුරුව පැවැත්වෙන්නේ ‘‘ජනබලය කොළඹට’’ ආණ්ඩු විරෝධි රැළියට බාධා කිරීමට නොවන බව අවධාරණය කරමින්.