Tuesday, April 23, 2024

General line - 0115112241

මුලතිව් කුරුඳුමලෙයි බොදු පුද බිමට ගිය ජනතාවට බාධා කළ දෙමළ සන්ධාන ප්‍රාදේශීය නායකයා අත්අඩංගුවට ගෙන ඇපත් දෙයි

දිනසේන රතුගමගේ - වවුනියාව




මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුඳුමලෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් එළිපෙහෙළි කිරීමේදී ඊට බාධා එල්ල කළ තරුණයින්ගෙන් හදුණාගත් තරුණයෙකු ඊයේ (6) දා මුලතිව් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගත් තරුණයා දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් පළාතේ එස්. කලෙයිචෙල්වම් නැමති ප්‍රාදේශීය නායකයාය. ඔහුව එදිනම රාත්‍රී පොලිස් ඇප මත නිදහස් කොට ඇති අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වීසින් මුලතිව් අධිකරණයේ පැවරීමට යන නඩුවේ පළමුවෙනි විත්තිකරුද මොහු වෙයි.

පසුගිය 4 වෙනිදා කුරුඳුමලෙයි විහාර භූමිය සුද්ධ පවිත්‍ර කිරීමට ගිය පිරිසක් හා  බුදු මැදුරක් ඉදි කිරීමට ගිය පිරිසකට දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් පළාත නියෝජනය කරණ පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් ඇතුළු පිරිසක් විරෝධය දදැක්වූවා. නමුත් මේ කාර්යය සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිසි අවසරයක් ලබාගෙන ඒ බව එළිපෙහෙළි කිරීමට යන දිනයට කලින් පොලීසිය වෙත ලිඛිතවම දැණුම්දීමක්ද කොට තිබුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ කුරුඳුමලෙයි වනාන්තරය මැද පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කර ඇති ස්ථානයේ භුමිය වෙන්කර, ආරක්ෂාව සඳහා මුර කුටියක් ස්ථාපනය කිරීමට වන සංරක්ෂණ නිලධාරීන් සමග ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතාවක් එල්ලවූ බවය.

"මෙම කටයුත්ත දැකබලා ගැනීමට ස්වාමීන්වහන්සේලා දෙනමක් ද වැඩම කළා, ජනයා එයින් කලබල වුණා. අපේ අරමුණ පැහැදිළි කළත් ඔවුන් පිළිගත්තේ නැහැ," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී ටි. රවිහරන් පැවසුවේ මුලතිව් ප්‍රදේශයේ සංවර්ධනය මුවාවෙන් රජය සිංහල ජනාවාස හා බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමේ වැඩසටහනක් දියත් කරමින් පවතින අතර, අදාළ වැඩසටහනට අනුව මුලතිව් කුරුඳුමලෙයි හි නව බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමට භික්ෂූන් වහන්සේ පිරිසක් පැමිණ ඇති බවය. දමිළ ජනතාවගේ භූමියවූ මුලතිව් ප්‍රදේශයේ සිංහල ජනාවාස ඉදිකිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ බවත්, අදාළ ක්‍රියාවලිය හේතුවෙන් මුලතිව් ජනතාව දැඩි ලෙස කෝපයට පත්ව සිටින බවත් රවිහරන් මන්ත්‍රීවරයා පැවසීය. රජය වහාම මැදිහත් වි මුලතිව් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන සිංහල ජනාවාස බිහි කිරීම වහාම නවතා දැමිය යුතු බවත් එසේ නොවුවහොත්, ජනතාව පෙළ ගැසෙනු ඇති බවත් ඔහු සදහන් කළා.

කෙසේවෙතත්, මේ ඇතිවූ තත්ත්වය ගැන පැහැදිලි කළ පුරාවිද්‍යා නිලධාරියා පෙන්වා දුන්නේ අදාළ ස්ථානය පිළිබඳ තොරතුරු 18 වෙනි සියවසේ සිට වාර්තාගතවී ඇති බවකි. "එය පුරාවිද්යාත්මක වශයෙන් ඉතා වැදගත් ස්ථානයක්." වන මෙය 2013 වසරේ පුරාවිද්යා රක්ෂිතයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇතැයි ද ඔහු සඳහන් කළා. ක්‍රි.ව. 100 - 103 ත් අතර සමයේ මෙම විහාරය ගොඩනැගු බවත්, පළමු අග්බෝ සහ පළමුවන විජයබාහු රාජ සමයේ විහාරය වැඩි දියුණු කළ බව මහාවංශයේද දැක්වෙන බවයි ඔහු සඳහන් කළේ.

මහවැලි එල් කලාපය: "සිංහල ජනයාට දෙනවා, දෙමළ ජනයාට නැහැ" එසේ පැවති විරෝධතාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් සභා මන්ත්‍රී ටි රවිහරන් හා උතුරු පළාත් සභා කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය කන්දයියා ශිවනේෂන් ඇතුළු පිරිසක් සහභාගිව සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් ඔඩ්ඩුසුඩාන් පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ, අදාළ ස්ථානයේ නව විහාරස්ථානයක් ඉදිකිරීමට සුදානම් වන බවට සැක සිතා ප්‍රදේශවාසීන් විරෝධතාවක යෙදුණු බවය.