Friday, March 29, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ සැසිවාරයට ශ්‍රී ලංකාවෙන් නව යෝජනාවලියක් - ජනපති

හේමන්ත කහවලගේ/සමන්ත කුමාර




එක්සත් ජාතිීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරයට එළඹෙන 25වනදා ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. රටේ ස්වාධීනත්වයට ජාතික ආරක්ෂාවට සහ ති‍්‍රවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳවද එම යෝජනාවලියේ කරුණු ඇතුළත් වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. 

අද (14) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවූ අවස්ථවේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මේ බව කියා සිටියා.

මෙරට ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා සහ යුද සමයේදී දෙපාර්ශවය අතර සිදුවූවායැයි පැවසෙන සිදුවීම් පිළිබඳ ඉතිරි වී ඇති ගැටලූ රැසක් සුහදශීලීව විසඳා ගැනීමට එමගින් හැකියාව ලැබෙනු ඇති බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ. 

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරික්ෂණවල යම් යම් දෝෂ සහිත ස්ථාන පිළිබඳවද ජනාධිපතිවරයා මෙම හමුවේදී අදහස් පළ කළා.

අනවශ්‍ය ලෙස හමුදා නිලධාරීන් රිමාන්ඞ්භාරයේ රඳවා තැබීමෙන් රජය අපකිර්තියට පත්වන බවත්, ඒ පිළිබඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස්පතිවරයා වෙත තදින් උපදෙස් ලබා දුන් බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ජාතික ආරක්ෂාව කිසිසේත් දුර්වල වී නොමැති බව ද ජනාධිපතිවරයා මෙම හමුවේදී අවධාරණය කළා.