Friday, April 19, 2024

General line - 0115112241

ආසියානු ගුවන් ගමන්වලට කාලගුණයෙන් බලපෑම්

ටී කේ ජී කපිල - කටුනායක




නැගෙනහිර ආසියානු ප‍්‍රදේශයට බලපා ඇති අධික වැසි සහිත සුළි කුණාටු තත්වය හේතුවෙන් එම ප‍්‍රදේශයට ගමන් ගන්නා ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වී තිබෙනවා. ගුවන් ගමන් වාර කීපයක් ප‍්‍රමාද කිරීමට සහ අවලංගු කිරීමට එරට ගුවන් තොටුපොළවල දැනුම් දීම මත කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් මෙන්ම ශ‍්‍රී ලංකන් ගුවන් සේවා බලධාරීන් ද මේ වනවිටත් කටයුතු කර අවසන්. 

ඒ අනුව චීනයේ ග්වැන්ෂෝ ගුවන් තොටුපොළ වසා දමා ඇති බව එරට ගුවන් තොටුපොළ බලධාරීන් ශ‍්‍රී ලංකාවට දන්වා තිබෙනවා. අද  (16) දහවල් 2.30ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 880 දරන ගුවන් යානය, හෙට අලූයම 12.20 තෙක් පැය 10 ක කාළයක් ප‍්‍රමාද කෙරුණා.

ඊට අමතරව චීනයේ ග්වැන්ෂෝ සිට අද සවස 6.35 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ” චයිනා සදර්න් ” ගුවන් සේවයේ සී.ඉසෙඞ්. 3059 දරන ගුවන් යානයේ ගුවන් ගමන එරට බලධාරීන් විසින් අවලංගු කර තිබෙනවා. 
එමෙන්ම හොංකොං සිට අද අලූයම 12.16ට පැමිණි කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්. 611 දරන ගුවන් යානය අද රාත‍්‍රී 11.05 තෙක් සිය ගුවන් ගමන පැය 24 ක කාළයක් පිටත්වීම සදහා ප‍්‍රමාද කෙරුණා.

මෙම සියලූ ප‍්‍රමාද වීම් සහිත ගුවන් යානාවල පිටත්වීම එම ප‍්‍රදේශයේ පවතින අයහපත් කාළගුණික තත්වය මත තවදුරටත්  ප‍්‍රමාද  වීමට හෝ එම ගුවන් ගමන් සම්පූර්ණයෙන් අවලංගු වීමටත් ඉඩ ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පවසනවා.