Friday, March 29, 2024

General line - 0115112241

රෑ එළිවෙනකම් පොලිස් ප්‍රශ්න කිරීම්වලට මුහුණ දුන් 'නාමල්' අද 'නෙත්' වෙත සියල්ල හෙළි කරයි

දිල්ශාන් තුෂාර




නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පිළිබඳ මාධ්‍ය හමුවේ අනාවරණ කළ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

ඒ, ඔහු ඉකුත්දා සිදු කළ ප‍්‍රකාශය පිළිබඳ තවදුරටත් ප‍්‍රශ්න කිරීම සඳහායි. මීට පෙර ඉකුත් සති අන්තයේ ද නාමල් කුමාරගෙන් පොලිසිය ප‍්‍රශ්න කළා. ඉකුත් 14 වැනිදා රාත‍්‍රියේ සිට පසුදා උදෑසන 06.15 වන තෙක් මෙම ප‍්‍රශ්න කිරීම සිදු කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

එම ප‍්‍රශ්න කිරීම් සිදු කර තිබුණේ ඔහුගේ නිවසේදීයි. එහිදී අදාළ නිලධාරීන් නාමල් කුමාරට පවසා ඇත්තේ ඔහුගේ දුරකතනය අද (17) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙසටයි. ඒ අනුව තමා ස්ව කැමැත්තෙන් ජංගම දුරකතනය භාරදෙන බව නෙත් නිවුස් වෙත ඔහු කියා සිටියා.

මේ අතර නාමල් කුමාර විසින් ඉකුත් දා මාධ්‍ය හමුවේ සිදු කරන ලද ප‍්‍රකාශයක් පදනම් කර ගනිමින් මහසොහොන් බලකායේ ප‍්‍රධානී අමිත් වීරසිංහගේ බිරිඳ ඇතුළු ඥාතීන් අද පෙරවරුවේ ජාතික පොලිස් කොමිසමට, මානව හිමිකම් කොමිසමට හා නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි භාරදුන්නා. ඔහුගේ බිරිඳ නෙත් නිවුස් වෙත කියා සිටියේ මාධ්‍ය හමුවේ සිදු කෙරුණු අනාවරණයේදී අමිත් වීරසිංහ අත්අඩංගුවට ගැණුනේ අසත්‍ය තොරතුරු මත බවට නාමල් කුමාර ප‍්‍රකාශ කළ බවයි.

ඒ පිළිබඳ විමර්ශනයක් කර තම ස්වාමියාට ඇප ලබාදෙන ලෙසටයි අමිත් වීරසිංහගේ බිරිඳ ඉල්ලා සිටින්නේ. 

මේ අතර අදාළ ප‍්‍රකාශයත් සමග දැඩි කතා බහකට ලක්වූ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර, නෙත් එෆ්. එම්. සඳුදා අන්ලිමිටඞ් වැඩසටහනට (අද17) සහභාගී වනවා. වැඩසටහන රාත‍්‍රී 07.30ට ප‍්‍රචාරය කෙරෙනවා.