Wednesday, April 24, 2024

General line - 0115112241

පාසල් දරුවන්ට ශාරීරික දඬුවම් දීම අවසන් කරන්න යයි

සජිත් තිලකරත්න




මෙරට පාසල්වල ශාරීරික දඩුවම් ලබාදීම අපේක්ෂා කරනවාට වඩා සිදුවෙමින් ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල්, නීතිඥ සුදර්ශන ගුණවර්ධන පැවසුවේ මේ හේතුවෙන් ඒ පිළිබඳ සාකච්ඡාවක් සිදු කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවයි. 

දඬුවම් දීම සහ ශාරීරික දඬුවම් පැමිණවීම අතර වෙනසක් ඇතැයි ද ඔහු කියා සිටියා. 

2020 දර්ශනය යටතේ ශ‍්‍රී ලංකාවේ පාසල්වල ශාරීරක දඬුවම් සහ ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා මේ වනවිටද ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. එය සංවිධාන කරන්නේ ජනාධිපති කාර්යාලය, ළමා හිංසනයට තිත සංවිධානය හා ශ‍්‍රී ලංකා පදනම එක්වයි.  
 

පාසල් දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම එපා යනුවෙන් 1913 දී පළමු වරට චක්‍ර ලේඛයේ පවා නිකුත් කෙරුණා. විශේෂයෙන්ම පාසල් දරුවෙකුට ශාරීරික දඬුවමක් පනවනවා නම් ඒ පිළිබඳව චක්‍ර ලේඛයේ සඳහන් වන පරිදි එය සිදු කළ හැක්කේ විදුහල්පතිවරයාට පමණක් වන අතර ඊට අදාළ වරද සටහන් කර වේවැල් පහරවල්  උපරිම වශයෙන් 03ක් පමණක් දිය හැකි වනවා. එහිදී අත තබාගත යුතු කෝණය පවා පැහැදිළිව දක්වා තිබෙනවා.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, නීතිඥ සුදර්ශන ගුණවර්ධන පෙන්වා දෙන්නේ එයින්ද දක්වා ඇත්තේ දරුවන්ට ශාරීරික දඬුවම් දීම අයෝග්‍ය දෙයක් සහ එමගින් අදාළ දරුවාගේ පෞර්ෂ වර්ධනයට බලපෑමක් ඇති වෙන බවයි. නමුත් තවමත් පාසල් තුළ ශාරීරික දඬුවම් පවතින අතර එය අනාගත දරු පරපුරේ වර්ධනයට නරක ලෙස බලපාන බවද සඳහන් කළා.