Friday, April 26, 2024

General line - 0115112241

ජොන්ස්ටන් ඇතුළු තිදෙනාට ඇප නැහැ

අධිකරණ වාර්තාකරු




පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේ දී සතොස මුදල් රුපියල් මිලියන 5.2 ක් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව ‍රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (17) නියෝග කළා .

මෙම නඩුව සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ පසුගිය සැප්තැම්බර් මස 3 වනදා නියෝග කළා. 

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ විත්තිකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරමින්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරිය කටයුතු කළ ආකාරය නීත්‍යානුකූල බව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැන්විය. විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත්තේ නඩු විභාගය කඩිනමින් කිරීමේ අරමුණින් බව නීතිපතිවරයා පැවසුවේය.

තවද පොදු දේපල පනත යටතේ චෝදනා ලැබ ඇති අයෙකුට ඇප පනතේ ප්‍රතිපාදන අදාල නොවන බවද මෙහිදී නීතිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

කුරුණෑගල මහාධිකරණය මගින් හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර් සහ හිටපු සතොස සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනා තිදෙනා රිමාන්ඩ් බාරයට පත් කිරීමට කළ නියෝගය අවලංගු කොට ඇප මත මුදාහැරීමට ලෙසට මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුනා.

කුරුණෑගල යන්තම්පලාව සතොස ශාඛාවෙන් ලබාගත් භාණ්ඩ තොගයක් සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි මොවුන්ට එරෙහිව නීතිපති චෝදනා ගොනුකර ඇත.