Tuesday, April 23, 2024

General line - 0115112241

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය ඉදිරියේදී කතානායකවරයාට

අධිකරණ වාර්තාකරු / චන්දන උඩුවාවල




20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් 16 යේ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබෙනවා. ඒ අනුව 20වන සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය ඉදිරි දිනකදී කථානායකවරයා වෙත දැනුම්දීමට නියමිතයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉකුත් දා ඉදිරිපත් කළා. එම යෝජනාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප‍්‍රකාශ කරන මෙන් ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර 
උදය ගම්මන්පිල සහ රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු කිහිප දෙනෙකු විසින්.

එම යෝජනාවේ ඇතැම් වගන්ති මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවටත් එය නීතියක් බවට පත් වීමට පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් සහ ජනමත විචාරනයකින් සම්මත විය යුතු බවත් මෙම පෙත්සමෙන් දක්වා තිබෙනවා. එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපතිවරයා පැවසුවේ මෙම කෙටුම්පත සම්මත වීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකට අමතරව ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල අද මහනුවරදී අදහස් පළ කළා.