Tuesday, April 23, 2024

General line - 0115112241

කෝටි ගණනින් මහජන මුදල් ඉතිරි කරන සෞඛ්‍ය ඇමති ලොවට හඳුන්වාදුන් සංකල්පය පළාත් සභා රෝහල්වලටත්




සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කළ පරිගණක ගත කළ ඖෂධ දත්ත පද්ධතිය පළාත් සභා රෝහල් සඳහා ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙල ඊයේ (17) ආරම්භ වුණා.

ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදීය.

සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය 20,000 කට අධික ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයුම් ජාලය විධිමත් කිරිම සඳහා නව මෘදුකාංගයක් හඳුන්වා දෙමින් ඖෂධ හිඟයකින් තොරව සැපයීම සදහා මධ්‍යම රජයේ රෝහල්වලට පළමුව මෙම ඖෂධ දත්ත පද්ධතිය හදුන්වා දෙනු ලැබුවා. එහිදී මධ්‍යම රජය යටතේ පවතින රෝහල් 50 ක සහ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් ගබඩා 26 ක දත්ත පද්ධතිය ක්‍රියාත්මක කරමින් ඖෂධ හිඟයකින් තොරව සපයන ලදි. මෙම වැඩපිළිවෙල පළාත් සභා රෝහල්වලට ව්‍යාප්ත කිරීම යටතේ රෝහල් 400 කට, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 338 කට සහ මධ්‍යම බෙහෙත් ශාලා 600 කට මෙම පරිගණක දත්ත පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙමගින් ඕනෑම රෝහලක ඖෂධ හිඟයක් ඇතිවුවහොත් ලඟම පිහිටි රෝහලෙන් එය ලබාගැනීමේ අවස්ථාව රෝහල් අධ්‍යක්ෂවරයාට හිමිවෙයි.

“සෞඛ්‍ය අමාත්‍යධූරයට මම පත්වන විට දිනපතා ඖෂධ වර්ග 44 -79 අතර ප්‍රමාණයක හිඟයක් පැවැතුනා. මාධ්‍ය මගින් දිනපතා ඖෂධ හිඟ බව ප්‍රකාශ කෙරුනා 2014 වසරේ දී පමණක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුපියල් කෝටි 35 ක වටිනාකමකින් යුත් කල් ඉකුත් වූ ඖෂධ විනාශ කර තිබෙනවා. මීට බලපා ඇත්තේ බෙදාහැරීමේ ජාලය විධිමත් නොවීමයි. ඒ සඳහා පරිගණක මෘදුකාංගයක් හදුන්වා දුන්නා. 2016 වසරේ දී මධ්‍යම රජයේ රෝහල් වලට පරිගණක මෘදුකාංගය හදුන්වා දෙමින් ඖෂධ හිඟය මඟහරවා ගත්තා. මෙම වසරේ දී පළාත් සභා රෝහල් දක්වා එය පුළුල් කරනවා. නව මෘදුකාංගය හදුන්වාදීම නිසා 2017 වසරේ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විනාශයට පත් කලේ රුපියල් කෝටි 04 ක් වටිනා කල් ඉකුත් වූ ඖෂධ පමණයි. කල් ඉකුත් වූ ඖෂධ වටිනාකම අවම කර ගැනීමට හැකි වූයේ මෙම මෘදුකාංගය නිසයි.

ඖෂධ දත්ත පද්ධතියක් හදුන්වා දෙමින් ඖෂධ බෙදාහැරීමේ ජාලය විධිමත් කළ පළමු රට ශ්‍රී ලංකාව බව ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන තිබෙනවා. එය ව්‍යාපෘතියක් ලෙස ඉදිරියේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරනවා. එහෙත් ඇතැම් ඖෂධවේදීන් දේශපාලන හේතූන් මත ඖෂධ හිඟයක් මවා පෑමට උත්සාහ කළ බවට ලැබුනු තොරතුරු මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. එවැනි විමර්ශනයක් මහරගම අපේක්ෂා රෝහලේ ද සිදු කරනවා. මෙම පරිගණක දත්ත පද්ධතිය දිවයින පුරා ව්‍යාප්ත කිරීම සදහා රුපියල් මිලියන 900 කට ආසන්න මුදලක් වැය වී තිබෙනවා. මෙම වැඩපිළිවෙල ලබන වසරේ මැදභාගය වන විට අවසන් කිරීම මගේ බලාපොරොත්තුවයි.”

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්ට, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට පරිගණක යන්ත්‍ර ද පිරිනමන ලදි.

මෙම අවස්ථාවට පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය ලේකම් බී.ජී.එස් ගුණතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරු ඇතුලු අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් එක්ව සිටියා.