Friday, April 19, 2024

General line - 0115112241

IS සංවිධානයේ නියෝජ්‍ය නායකයාට මරණ දඬුවම නියම වෙයි

දිනුක් හේවාවිතාරණ




ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයේ (IS) නියෝජ්‍ය නායකයා වන ඉස්මායිල් අල්වාන් සල්මන් අල්-ඉතාවී හට මරණ දඬුවම නියමවී තිබෙනවා. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා වන්ට එරෙහිව ඉරාක අධිකරණයක් මගින් සිදුකළ නඩු විභාගයකින් අනතුරුව මෙලෙස ඔහු එල්ලා මැරීමට නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. මේ දක්වා මරණ දඬුවම නියමවූ ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයේ ඉහළ පෙලේ නායකයා ලෙස මොහු හැදින්විය හැකියි.

ඉස්මායිල් අල්වාන් IS නායක අබු බකර් අල්-බග්ඩාඩිගේ සමිපතයෙක් මෙන්ම එහි නියෝජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරනු ලැබුවා.

සිරියාවේ ගැටුම් වලදී IS සංවිධානය ලද පරාජයත් සමග එහි නියෝජ්‍ය නායකයා තුර්කියට පළා ගොස් ඔහුගේ සහෝදරයාගේ නමින් එහි කලක් ජිවත්ව සිටියා. 

නමුත් අමෙරිකාව, තුර්කිය සහ ඉරාකය විසින් සිදුකළ බුද්ධි මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබූ ඉස්ලාමිය අන්තවාදී නායකයෙක් සතුව තිබු දුරකතනයක් හරහා තුර්කියේ සැඟව සිටි ඉස්මායිල් අල්වාන් සල්මන් අල්-ඉතාවී අත්අඩංගුවට ගැනීමට තුර්කි ආරක්ෂක අංශ හට හැකියාව ලැබුනා.

පසුව IS සංවිධානයේ නියෝජ්‍ය නායකයා ඉරාකයට භාර දීමෙන් අනතුරුව ඔහුට එරෙහි නැගී තිබු චෝදනා වන්ට එරෙහිව විශේෂ අධිකරණයක් හමුවේ සිදුකළ නඩු විභාගයකින් අනතුරුව මෙම මරණ දඬුවම නියම කළ බවයි එරට අධිකරණ අමාත්‍යවරයා සදහන් කර සිටියේ.

කෙසේ වුවත් IS සංවිධානයේ නියෝජ්‍ය නායකයා අත්අඩංගුවට ගැනීමට සිදුකල මෙහෙයුම අතර වාරයේදී තවත් ප්‍රධාන පෙළේ ඉස්ලාමිය සංවිධානයේ නායකයින් සිවුදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඉරාක ආරක්ෂක අංශ වලට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අතර 2014 වර්ෂයේදී ඉරාකයේ Deir Ezzor ප්‍රාන්තයේදී පුද්ගලයින් 700 දෙනෙක් සමුල ඝාතනය සිදුකළ බව කියන සදාම් අල්-ජමාල් ද සිටින බවයි ඉරාක ආරක්ෂක අංශ සදහන් කරන්නේ.