Thursday, April 25, 2024

General line - 0115112241

තියුණු තරගයකින් පසු පාකිස්ථානය ජය ගනියි

දිනුක් හේවාවිතාරණ




ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් කඩුලු 3 කින් ජයග්‍රහණය කිරීමට පාකිස්ථානය සමත් වුවා. ලකුණු 258 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානය තියුණු තරගයකින් අනතුරුව සිය ඉලක්කය අවසන් පන්දු ඕවරයේ 3 වන පන්දුවේදී සනිටුහන් කර ගැනීමට සමත් වුනා.

කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන නායකයා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබූ අතර සිය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 257 ක් රැස් කිරීමට සමත් විය. 

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් අනගි පිතිහරඹයක යෙදුනු හස්මතුල්ලා ශාහිඩි පන්දු 118 කදී නොදැවී ලකුණු 97 ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබා දුන් අස්ගාර් අෆ්ගාන් පන්දු 56 කදී ලකුණු 67 ක් රැස් කිරිමින් 4 වන කඩුල්ල සදහා අගනා ලකුණු 94 ක සම්බන්ධතාවයක් පවත්වමින් ඇෆ්ගන් ඉණිමේ මැද පෙළ ශක්තිමත් කරනු ලැබුවා 

ජයග්‍රාහි ලකුණු 258 ක ඉලක්කයක් හඹා යාමට පැමිණි පාකිස්ථාන කණ්ඩායමේ පළමු කඩුල්ල ෆකාර් අස්මාන් දවා ගැනීමට ඇෆ්ගන් පන්දු යවන්නන් සමත් වුවත් ඉමාම් උල්-හක් (80) සමගින් එක්වූ බාබාර් අසාම් (66) දෙවැනි කඩුල්ල සදහා අගනා ලකුණු 154 ක සම්බන්ධතාවයක් තබමින් පාකිස්ථානය යළි තරගයට අවතීර්ණ කිරීමට සමත් විය.

කෙසේ වුවත් තරගයේ 33 වෙනි පන්දු වාරයේදී ඉමාම් උල්-හක් ගේ දැවී යාමත් සමග යළි තරගයට අවතීර්ණ වූ ඇෆ්ගන් පන්දු යවන්නන් පාකිස්ථාන මැදපෙළ පිතිකරුවන්ට දැඩි පීඩනයක් ගෙන දෙමින් පන්දු යැවීම සිදුකළා.

කෙසේ වුවත් අවසානයේ ෂොයිබ් මලික් විසින් පන්දු 43 කදී නොදැවී රැස් කළ අගනා ලකුණු 51ක හේතුවෙන් තරගයේ අවසන් පන්දුවාරයේ 3 වන පන්දුවේදී සිය ඉලක්කය සපුරා ගැනීමට පාකිස්ථාන පිතිකරුවන්ට හැකි වුවා.

මේ අතර ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති සුපිරි වටයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබීමට ඉන්දියාව සමත් වුනා. 

මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු ඕවර 49.1 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 173 ක් රැස්කර ගනු ලැබුවා. මෙහිදී අගනා පන්දු යැවීමක නිරතවූ රවින්ද්‍ර ජඩේජා ලකුණු 29 කට කඩුලු 4ක් දවා ගනු ලැබුවා.

ලකුණු 174 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 36.2 කදී කඩුලු 3 ක් දැවී සිය ජයග්‍රහණය සනිටුහන් කිරීමට සමත් වුනා. ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා පන්දු 104 කදී නොදැවී ලකුණු 83 ක් රැස් කිරීමට සමත් විය.