Tuesday, April 16, 2024

General line - 0115112241

සිය රට පැමිණි ගෘහසේවිකාවක් දරුවන්ට ගෙනා පළතුරු රේගු භාරයට (VIDEO)

දිනුක් හේවාවිතාරණ




ගෘහ සේවය සදහා විදෙස් ගතව සිට යලි සිය රට බලා පැමිණි කාන්තාවක් සිය දරුවන්ට ලබාදීමට මෙරටට ගෙනා පළතුරු කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරියෙක් විසින් සිය භාරයට ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මේ දිනවල ප්‍රචාරය වෙමින් පවතිනවා.

කොතෙක් ඉල්ලීම් කලත් එම පළතුරු රට තුලට රැගෙන යාමට ඉඩදිය නොහැකි බවට රේගු නිලධාරියා විසින් මෙම කාන්තාවට සහ ඇයගේ ඥාතීන්ට පවසා සිටින ආකාරය එම වීඩියෝවේ සදහන් වනවා. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් nethnews.lk විසින් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න ගෙන් විමසා සිටියා.

එහිදී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ශ්‍රී ලංකාවට පළතුරු, මස් සහ මාලු, පැළෑටි සහ සතුන් රැගෙන ඒමේදී නිරෝධන සහතිකයක් ලබා තිබීම අනිවාර්ය වන බවයි. ඒ විවිධ කෘමින්, පණුවන්, කීටයින් හා විෂබීජ රට තුලට ඒම පාලනය කිරීමට රේගු නිලධාරීන් කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ.

" ඔස්ට්‍රේලියාව වැනි රටක ගුවන් තොටුපලකදී මඩ ගෑවුණු සපත්තු දෙකක් තමන්ගේ රට තුලට ඒමට රේගු බලධාරීන් ඉඩ ලබා දෙන්නේ නැහැ. දියුණු රටවල් මේ වගේ පළතුරු, ආහාර වර්ග තමන්ගේ රට තුලට ඒමේදී ඒවා දැඩි පරික්ෂාවට ලක් කරනවා වගේම නිරෝධන සහතික නැත්නම් ඒවා පිළිගත් ක්‍රමවේදයක් අනුව විනාශ කරනවා. අපිත් කරන්නේ රාජකාරියක්, නිරෝධන සහතිකය තිබෙනවා නම් මේ ගැටළු ඇති වන්නේ නැහැ" යැයි මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා. 

විදෙස් ගතවන පුද්ගලයින් මේ පිලිබදව දැනුවත් කිරීමකට ලක්කරනවාද යන්න ගැන සිදුකළ විමසීමකදී ඔහු සදහන් කලේ ගුවන් තොටුපලේ ඇති ප්‍රකාශන පත්‍ර, එමෙන්ම ගුවන් යානා තුලදී මේ ගැන දැනුවත් කිරීම් සිදුකරනු ලබන බවයි.

(වීඩියෝව උපුටා ගැනීම : තුෂාර චන්දන ගෙන්)