Friday, April 19, 2024

General line - 0115112241

කණ්ඩායමට බරක් වීමේ අවශ්‍යතාවයක් නැහැ: විශ්‍රාම යන්න සුදානම් - ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ආසියානු කුසලාන තරගාවලියේදී බංග්ලදේශය සහ ඇෆ්ගනිස්ථානය හමුවේ ලද පරාජයන්හි වගකීම තනි පුද්ගලයෙකු ලෙස තමන් වෙතට පැවරෙන්නේ ඉන් නම් පුදුමයටත් එමෙන්ම තමා පාවාදීමකට ලක්වූ බවට හැඟෙන බව ශ්‍රී ලංකා ජාතික පිලේ එක්දින සහ විස්සයි 20 කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටිනවා.

ආසියානු කුසලානයේ ලද පරාජයේ වගකීම් වලින් කොටසක් තමන් භාර ගන්නා බවත් තීන්දු තීරණ ගැනීමේදී තේරීම් කමිටු නිලධාරින් සහ පුහුණුකරු ඇතුළුව අන්‍යොනය අවබෝධයකින් යුතුව සිදු කළ බව මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් යොමු කළ ලිපියේ වැඩිදුරටත් සදහන් වෙනවා.

ඉකුත් 21 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී තේරීම් කමිටු නිලධාරින් සහ පුහුණුකරු සමග පැවති සාකච්ජාවේදී තමන්ට නායකත්වයෙන් ඉවත් වන ලෙස දැනුම් දුන් බවත් එම තීරණය ගැන තමන් පුදුමවූ බවත් ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ අදක්ෂකම් වල වගකීම සහ පරාජය තමන් වෙතට පැවරී ඇති බවට හැඟුණු බව මැතිව්ස් කියා සිටිනවා.

2017 වසරේදී තමන් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වූ බවත්, නායකත්වය දැරූ වසර 05 ක කාලය තුලදී ඔස්ට්‍රේලියාවට එරෙහි 3-0 ක තරගාවලි ජයග්‍රහණයක්, එංගලන්තයට එරෙහිව තරගාවලි ජයක් සහ 2014 වසරේ ආසියානු කුසලානය දිනා ගැනීමට සමත්වු බව ඔහු සිය ලිපියේ සදහන් කර සිටිනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව සාර්ථක තරග සංචාරයකින් අනතුරුව ආසියානු කුසලානයේදී ලැබූ පරාජය ඇදහිය නොහැකි බවත් ලෝක කුසලාන තරගාවලිය අතලග තිබියදී ගැටලු මග හැරීමට හෝ ඉන් ඉවත්ව යාමට තමන්ගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ඇන්ජලෝ මැතිව්ස් කියා සිටිනවා.

ක්‍රීඩාවේදී තමන් උපරිමය කිරීමට සුදානම් බවත් ඕනෑම මොහොතක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට සුදානම් බව මැතිව්ස් සිය ලිපියේ සදහන් කර සිටිනවා. 

එමෙන්ම කණ්ඩායමේ පුහුණුකරු සහ තේරීම් කමිටුව නිලධාරීන්ට ශ්‍රී ලංකා පිලේ එක්දින සහ විස්සයි 20 තරග සදහා තමන් සුදුසුදැයි තීරණය කිරීමට හැකි බවත් එසේ තමන්ගේ සේවය අවශ්‍ය නොවන්නේ නම් කණ්ඩායමට බරක් නොවී විශ්‍රාම යාමට සුදානම් බවද මැතිව්ස් මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටිනවා.

එමෙන්ම එක්දින සහ විස්සයි 20 තරග වලදී තමන් කණ්ඩායම වෙනුවෙන් උපරිමය සිදුකළ බවත් ඉකුත් දකුණු අප්‍රිකානු සංචාරයේදී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අතුරින් වැඩිම ලකුණු ලාභියා වුයේ තමන් බවද මැතිව්ස් මෙහිදී සදහන් කර සිටිනවා.

අවසන් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තමන් සුභ පතන බවත් ආසියානු කුසලාන තරග සංචාරය අවසන් වීමත් සමග නායකත්වයෙන් ඉවත් වන ලෙස සිදුකළ දැනුම් දීම පරිදි තමන් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බව හිටපු නායකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෙත යවා තිබෙන ලිපියේ සදහන් වෙනවා.