Friday, April 19, 2024

General line - 0115112241

ඉර සේවය බලන්න සීගිරියට එන්නලු..සීගිරියට ආවත් ඉර සේවය බලන්න දෙන්නේ නෑ ලු - පාර්ශ්ව දෙකක් අතර මත ගැටුමක්

කාංචන කුමාර ආරියදාස




ලෝක සංචාරක දිනය නිමිත්තෙන් ලබන 27 වැනිදාට  අලුයම 5.00 සිට සීගිරි නැරඹීම සඳහා විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කාර්යාලය තීරණය කොට තිබෙනවා.

ඒ අනුව එදින දෙස් විදෙස් සංචාරකයන්ට අලුයම 5.00 ට සීගිරි පර්වතය මතට නැග ඉර සේවය නැරඹීමට අවස්ථාව උදා කර දීම මෙහි අරමුණ බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ කළමනාකාර මේජර් අනුර නිශාන්ත පැවසුවේ.

ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් සීගිරියේ උත්සව කිහිපයක් සංවිධානය කොට තිබෙනවා.

එහිදී ජංගම දුරකථන සඳහා නවතම ( mobile app) මෘදුකාංගයක් හදුන්වා දීමට නියමිතව තිබෙනවා. ඉන් සිදුකරනු ලබන්නේ එම මෘදුකාංගය ලබා ගැනීමෙන් පසු සීගිරිය ඇතුළත ඇති ඕනෑම ස්ථානයකට ගොස් එහි ඇති විශේෂ අංකය අදාළ මෘදුකාංගයට පිවිස සඳහන් කළ විගස එම ස්ථානයේ ඓතිහාසික සිදුවීම් හඬපට ප්‍රචාරය වීමයි.

එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ඉදිකරන ලද ඖෂධීය ඔසු උයන විවෘත කිරීම ද මෙහිදී සිදු කෙරෙනවා.

කෙසේවෙතත් ලබන 27 වැනි දින අළුයම 5.00 ට සීගිරිය විවෘත කිරීම පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීරණය පිළිබඳව මෙතෙක් සීගිරිය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර නොමැති බවද වාර්තා වෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලට එහි මෙවැනි තීන්දු තීරණ ලබා ගැනීමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතු යැයිද  එහි උසස් නිළධාරියෙකු සඳහන් කළා.

ඒ අනුව ලබන 27 වැනිදා අලුයම 5.00 ට සීගිරි පව්වට නැගීම සඳහා කිසිදු අවසරයක් ගෙන නොමැති නිසා උදේ 7.00 වන තුරු විවෘත කිරීම, ඇතුළුවීම සදහා අවසරයක් ලබා දීමට නොහැකි යැයිද හෙතෙම සඳහන් කළා.

ඒ පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදලේ  ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්තගෙන් යළි විමසීමේදී කියා සිටියේ මෙම ආයතන දෙකම එකම අමාත්‍යාංශයක පවතින බැවින් මෙම සංචාරක දිනය  සැමරීම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් අතින් සිදු කෙරෙන එකක් බැවින්ද අදාළ පුරාවිද්‍යා අංශ නිලධාරින්ව ඉහළින් දැනුවත් කරනු ඇති බවයි.