Tuesday, April 23, 2024

General line - 0115112241

නාමල් කුමාර තමා සතු තවත් හඬපට සහ ඡායාරූප කිහිපයක් එළියට අදී

තරංග රුක්ෂාන්/දිල්ෂාන් තුෂාර




නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පිළිබඳ අනාවරණයක් සිදු කළ නාමල් කුමාර නැමැත්තා අද (26) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඒ, රජයේ ප‍්‍රධාන රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් වීමේ අරමුණින්.

නාමල් කුමාර නැමැත්තාගේ කටහඬ සහ දුරකතන සංවාදයේ හඬ නිවැරදි දැයි පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඊයේ (26) ඉල්ලීමක් කළා. ඒ අනුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ ඔහු අද පෙරවරු 10.00ට රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කරන ලෙසයි. 

නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර නැමැත්තා ප‍්‍රකාශ කළේ තමන් අද දිනයේ දී තවත් හඬපට කිහිපයක් රැගෙන එන බවයි. 

එහිදී "නාලක සිල්වා මහත්තයා සහ මම අතර සිදුවුණ සංවාදවල තවත් විශේෂ හඬපට කිහිපයක් සහ වෙනත් විශේෂ තොරතුරු කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු සඳහා ලබා දෙන්න මම කටයුතු කරනවා. ඡායාරූප කිහිපයකුත් තියෙනවා." යනුවෙන් සඳහන් කළා.

මේ අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ද ජීවිත තර්ජන ඇතැයි අධිකරණය හමුවේ තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ, නාමල් කුමාර නැමැත්තාගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයාගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදීයි. ඔහු ලබාදුන් ප‍්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ දැනුම් දුන්නා. 

ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා තවදුරටත් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට සූදානම් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. 

මෙම සැකකරු ඉකුත්දා වරකාපොළ ප‍්‍රදේශයේ පිහිටි නාමල් කුමාර නැමැත්තාගේ නිවසේදී අත්අඩංගුවට ගැනුණා. ඔහු මෙරටට පැමිණ වීසා බලපත‍්‍ර නොමැතිව කුළී පදනම මත ජීවත් වී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.