Thursday, April 18, 2024

General line - 0115112241

කුලී ත‍්‍රීරෝද රථ ගාස්තු ඉහළ දමන්න සාකච්ඡා

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




ඉන්ධන මිල තීරණය කිරීම සඳහා ක‍්‍රියාත්මක කරන මිල සූත‍්‍රයට අනුව මෙවර ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 11කින් වැඩි කළ යුතුව තිබූ බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ. 

පෙට‍්‍රල් හා සුපර් ඞීසල් මිල ගණන් ඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩි වුවද ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට ඇති විය හැකි බලපෑම සලකා ඔටෝ ඞීසල් මිල ගණන් ඉහළ නොදැමීමට රජය කටයුතු කළා.

මේ අතර ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයට අනුව බස් ගාස්තුවල වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවයි පෞද්ගලික බස් සංගම් පවසන්නේ.

කෙසේවෙතත් පෙට‍්‍රල් මිල යළි ඉහළයාම හේතුවෙන් කුළී ත‍්‍රීරෝද රථ ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් පවතින බව සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුදිල් ජයරුක් මේ බව පෙන්වා දෙනවා. ඒ සම්බන්ධයෙන් අද (11) දිනයේ සිය සංගම් සාකච්ඡා කරන බවද සඳහන් කළා.

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනය අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 6 කින් ඉහළ දැමුණා. නව මිල සංශෝධනය අනුව රුපියල් 149ක් ලෙස පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 155 දක්වා ඉහළ යනු ඇති.

රුපියල් 161 ක් ලෙස පැවති  ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 8 කින්. ඒ අනුව ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 169 ක් දක්වා ඉහළ යනු ඇති.

සුපර් ඞීසල් ලීටරයක මිල ඉහළ දැමුණේ රුපියල් 8 කින්. ඒ අනුව දැනට රුපියල් 133 ක් ලෙස පවතින සුපර් ඞීසල් ලීටරයක නව මිල රුපියල් 141 ක් දක්වා ඉහළ යනු ඇති.