Friday, March 29, 2024

General line - 0115112241

පලාගිය යාපනය පොලිස් නිලධාරියා සොයයි 

මාධව කුලසූරිය




යාපනය, කයිට්ස්, පුන්කුඩිතිව්, 09 වන පටුමග ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ ශිවලෝගනාදන් විද්‍යා  දැරියගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන්ට පළායාමට උපකාර කළ බව පවසන එවකට යාපනය පොලිසියට අනුයුක්තව සේවය කළ සුන්දරේශන් ශ්‍රීගජන් නමැති පොලිස් නිළධාරීයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් ඒ. ජුඩ්සන් ඊයේ (10) නියෝග කරනු ලැබුවා.

විද්‍යා ඝාතන සැකකරුවන්ට පළා යාමට උපකාර කළ බවට චෝදනා ලැබ තිබෙන උතුරු පළාත් භාර හිටපු නියෝජ්‍ය  පොලිස්පති ලලිත් ජයසිංහ සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේ කයිට්ස් මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත එලෙස නියෝග කර තිබෙනවා.

විද්‍යා ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වරදකරු වු ස්විස් කුමාර් නමැත්තා ඇතුළු පිරිස වෙත පළා යාමට උපකාර කළ බව කියන සිද්ධියේදී ශ්‍රීගජන් නැමැති උප පොලිස් පරීක්ෂකවරයා අදාළ පිරිස් වෙත උපකාර කොට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කොට තිබුණා.

ශ්‍රීගජන් නිළධාරියා අදාළ සිදුවීමෙන් අනතුරුව පළාගොස් ඇති අතර, සැකකාර ‍උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය අධිකරණයට පැවසුවා.

නඩු විභාගය එළැඹෙන ජනවාරි මස 30 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.