Friday, March 29, 2024

General line - 0115112241

අද ඇරඹෙන ලොව දීර්ඝතම ගුවන් ගමනට සියල්ල සූදානම්

චම්ලි ඒකනායක




ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන අද (11) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ, සිංගප්පූරුව සහ නිව් යෝර්ක් අතරය. අධික පිරිවැය හේතුවෙන් අත්හිටුවා තිබූ මෙම ගුවන් ගමන, සිංගප්පූරු ගුවන් සමාගම විසින් යළිත් ආරම්භ කරනු ලබන්නේ, වසර 5කට පසුව ය.

එම ගුවන් ගමන කිලෝ මීටර් 15000කට අධික දුර ප්‍රමාණයකින් යුක්ත වන අතර, ඊට ගත වන කාලය පැය 18යි මිනිත්තු 25ක් ලෙස අනුමාන කෙරෙනවා.

සිංගප්පූරුවේ චන්ගි ගුවන් තොටුපොළේ සිට නිව් යෝර්ක්හි 'නිවෝර්ක්' ගුවන් තොටුපොළ දක්වා පියාසර කෙරෙන මෙම මංගල ගුවන් ගමන සඳහා විශාල ඉල්ලුමක් පැවති බවයි සිංගප්පූරු ගුවන් සමාගම පවසන්නේ. 

සිගප්පූරු වේලාවෙන් අද (11 බ්‍රහස්පතින්දා) පස්වරු 11.35 (ඒ වනවිට නිව්යෝක්හි වේලාව පෙරවරු 11.35 වේ) ට මෙම ගුවන් ගමන ආරම්භ වීමට නියමිත අතර, හෙට (12 සිකුරාදා) පෙරවරු 6.00ට නිව්යෝක් වෙත ලඟාවීමට නියමිතය. (සිගප්පූරුව සහ නිව්යෝක් අතර කාල පරතරය පැය 12කි.)

මෙම ගුවන් ගමන සඳහා A350-900 ULR දිගු දුර පරාසයේ (ultra-long-range) නවතම ගුවන් යානයක්  යොදා ගැනෙන අතර එය ද්විත්ව-එන්ජින් ගුවන් යානයකි. එහි ව්‍යාපාරික පන්තියේ ආසන 67ක් සහ සෙසු මගී ආසන 94ක් සමගින් ඇති සමස්ත ආසන සංඛ්‍යාව ආසන 161කි.

මීට පෙර, Qatar ගුවන් සමාගම නවසීලන්තයේ ඕක්ලන්ඩ් සහ කටාර්හි දෝහා දක්වා ගුවන් සේවාවක් ආරම්භ කළ අතර ඊට ගත වන කාලය පැය 17.5කි. Qantas සමාගම ද මේ වසරේ මුලදී ආරම්භ කළ ඔස්ට්‍රේලියාවේ පර්ත් සහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අතර ගුවන් සේවාව සඳහා ගත වන කාලය පැය 17ක් වනවා.