Friday, March 29, 2024

General line - 0115112241

ඉදිරි මාස 06 තුල රජයේ හෝටල් දෙකක් විකිනීමට සුදානම්

දිනුක් හේවාවිතාරණ




සිය මුල්‍ය ශක්තිය වර්ධනයකර ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා රජය සතු හෝටල් දෙකක් ඉදිරි මාස 06 ක කාලය තුලදී විකිණීමට බලාපොරොත්තුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සදහන් කරනවා.

මෙම හෝටල් දෙක විකිණීම තුලින් ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 500ක් ලබා ගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.

මේ වන විට මෙම හෝටල් දෙක විකිණීම සම්බන්ධයෙන් වන නිතිමය කටයුතු සිදුකරමින් පවතිනවා. ඒ සදහා තව මාස 06 ක පමණ කාලයක් ගත වෙවී යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.

ඉකුත් ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා රජය සතුව 51% ක කොටස් අයිතිය හිමි හිල්ටන් හෝටලය සහ කොළඹ නගර සිමාවේ පිහිටි ග්‍රෑන්ඩ් හයැට් (Grand Hyatt) හෝටලයන් කළමනාකරණ කොන්ත්‍රාත්තුව යටතේ පවත්වාගෙන යාම සදහා ආයෝජකයින් සෙවීම ආරම්භ කරනු ලැබුවා.

 මේ අතර ඉදිරියේදී ශ්‍රී ලංකා ගුවන් සේවය සදහා ආයෝජකයින් සොයා ගැනීමට හෝ එය පෞද්ගලිකරණය කිරීම සදහා ශ්‍රී ලංකා රජය පියවර ගනු ඇති බවයි රොයිටර් පුවත් සේවය සදහන් කරන්නේ.

අපි යලිත් අභ්‍යන්තර ප්‍රතිව්‍යූහගතකරණයක නිරත වෙමින් තිබෙනවා.ඒ හේතුවෙන් යම් යම් වෙනස්කම් සිදුවීමට හා සිදුකිරීමට ඉඩ තිබෙනවා. ඉදිරි මාස කිහිපයේදී මේ සම්බන්ධයෙන් රටේ ජනතාවට ඔවුන්ගේ අදහස් දැක්වීමට ඉඩ ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා ලබා ගත් විදෙස් ණය ආධාර සදහා මේ වසරේ සිට ණය වාරික පියවීමට රජයට සිදුව ඇති අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් රජය මුල්‍යමය වශයෙන් දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි රොයිටර් පුවත් සේවය මෙහිදී වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

(Reuters.com)