Wednesday, April 24, 2024

General line - 0115112241

ට්‍රම්ප් සවුදියට අනතුරු අඟවයි : මාධ්‍යවේදියාගේ අතුරුදන් වීම ගැන ඇපල් ඔරලෝසුවක් හරහා විමර්ශන අරඹයි

දිනුක් හේවාවිතාරණ





අමෙරිකාවේ වොෂින්ටන් පොස්ට් පුවත් පතේ තීරු ලිපි රචකයෙක් වශයෙන් කටයුතු කළ සවුදි අරාබි ජාතික මාධ්‍යවේදී ජමාල් කගෝෂි ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසනවා.

" සවුදි අරාබිය කියනවා මෙම මාධ්‍යවේදියාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැහැයි කියලා. බලමු ඔහුගේ අතුරුදහන්වීමට හෝ ඝාතනයට ලක්ව ඇත්නම් ඒ සවුදි අරාබිය සම්බන්ධවී ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන්ට දැඩි දඬුවම් විදීමට සිදුවනු ඒකාන්තයි" යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

තුර්කියේ පිහිටි සවුදි තානාපති කාර්යාලයට ඉකුත් ඔක්තෝම්බර් 02 වෙනිදා ගිය මාධ්‍යවේදී ජමාල් කාගෝෂි යලි ඉන් පිටතට නොපැමිණි අතර ඔහුගේ හදිසි අතුරුදන්වීම ගැන ලොව පුරා කතා බහට ලක්වීමට පටන් ගැනුනා.

මෙම මාධ්‍යවේදියාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරනු ලබන තුර්කි බලධාරීන් සදහන් කලේ සවුදි තානාපති කාර්යාලය තුලදී ජමාල් කගෝෂි ඝාතනය කර ඇති බවත් සිදුවීමට අදාළ වීඩියෝ සහ හඬ පටයක් සිය භාරයේ ඇති බවයි.

කෙසේ වුවද මෙම මාධ්‍යවේදියාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් තම රටේ කිසිදු සම්බන්ධයක් නොමැති බව සවුදි අරාබිය පුන පුනා ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර ජමාල් කගෝෂි අතුරුදහන්වූ අවස්ථාවේදී ඔහු සියඅතේ පැලඳ සිටි ඇපල් අයි ඔරලෝසුවේ ආධාරයෙන් සිදුකළ බව කියන වීඩියෝ පටිගත කිරීම් කිහිපයක් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන ආරම්භ වී තිබෙනවා.

විමර්ශනය සිදුකරනු ලබන බලධාරීන් සදහන් කරන්නේ ඇපල් අයි ඔරලෝසුව මගින් පටිගත කරන වීඩියෝ අදාළ පුද්ගලයාගේ iCloud ගිණුමට යැවෙන බවත් සවුදි තානාපති කාර්යාලය තුලදී තමන්ට මුහුණ දීමට සිදුවූ දේ ගැන ජමාල් කගෝෂි එම වීඩියෝ හරහා හෝඩුවාවක් තබා ඇත්ද යන්න ගැන පරීක්ෂණ කරන බවයි.