Friday, March 29, 2024

General line - 0115112241

සාකච්ඡාව මැද්දේ 'වෙල්ගමගේ සිද්ධියට' මහින්ද දුන්නු පිළිතුර

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීම  ඊයේ (16) රාත‍්‍රියේ පැවැත්වුණේ කොළඹ විජයරාමයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි. 

අදාළ රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ පළාත් සභා ඡන්දය බලකර ලබා ගැනීමට මෙහිදී ස්ථීර තීරණයක් ගත් බවයි.

සභාග ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් මෙම රැස්වීමේ දී ද සාකච්ඡා නොවූ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ. 

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් අතර පවතින මත ගැටුම් පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බවයි නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ. 

එහිදී "එක එක්කෙන්ට විවේචනය කරගන්නේ නැතුව කරුණාකරලා නිශ්ශබ්දව ඉන්න කියලා හිටපු ජනාධිපතිතුමා කිව්වා. අනවශ්‍ය විවේචන නැතුව දේශපාලන කටයුතු කරගෙන යන්න කියලා. මැතිවරණයක් ආපුවාම තමන් කැමති අපේක්ෂකයෙකුට වැඩ කරන්න කිව්වා. ඒකට කාටවත් බාධාවක් නෑ කිව්වා. හිටපු ජනාධිපතිතුමා තවදුරටත් කිව්වා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න සුදුසු වෙලාවට කියලා..  මේ මැතිවරණයක් ගන්න බැරුව අපි දඟලන වෙලාවේ..මැතිවරණය හැකි තරම් කල් දාගෙන යන්න හදන වෙලාවේ.. අපි ඒකට විරුද්ධවයි සටන් කළ යුත්තේ කියලා කිව්වා." යනුවෙන්ද සඳහන් කළා.

මෙම සාකච්ඡාවට සහභාගී වීමට පෙර එල්ලවන විවේචන පිළිබඳව අදහස් දක්වමින් කුමාර වෙල්ගම නෙත් නිව්ස් වෙත සඳහන් කර තිබුණේ මෙවැන්නක්.

"මම ඕවට සැලෙන්නේ නෑ..තමන්ගේ හිතට එකඟව කෙලින් කතා කරන එක වරදක් ද?. අපිට කියන්නේ හැමදාම ඒ කියන දේ අහගෙන ඉන්නද?. නෑ එහෙම බෑ. අපේ අදහස් අපි නොබියව ප්‍රකාශ කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්තයාත් චන්ද්‍රිකා නෝනගේ ආණ්ඩුව කාලේ එතුමගේ අදහස් නිදහසේ ප්‍රකාශ කළා. අපිටත් ඒ අයිතිය තියෙන්න ඕනේ. අද තියෙනවා ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක්. මං සහභාගී වෙනවා. වෙල්ගමගේ වචන දෙකක් නෑ. මම එතනට ගිහිල්ලා කියන්නෙත් මාධ්‍ය ඉස්සරහා කියපු දේම තමයි."

කෙසේවෙතත් මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කෙරුණේ කඩිනම් මැතිවරණයක් ලබාගැනීම සම්බන්ධයෙන් බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.