Wednesday, April 24, 2024

General line - 0115112241

අමෙරිකානුවන් ඇතුළු 700 ක් IS සංවිධානය සිරියාවේදී පැහැරගෙන- රුසියානු ජනාධිපති හෙළි කරයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




නැගෙනහිර සිරියාවේ පිහිටුවා තිබු සරණාගත කඳවුරකට ඉස්ලාමිය අන්තවාදීන් (IS) විසින් ප්‍රහාරයක් එල්ල කොට එහි සිටි පුද්ගලයින් 700ක් පැහැරගෙන ගොස් ඇති බව රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් ප්‍රකාශ කර සිටිනවා.

අමෙරිකාවේ ආධාර යටතේ ක්‍රියාත්මක සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පාලනයේ පැවති ඩෙර්-අල් සොර්  ප්‍රදේශයක පිහිටා තිබු මෙම කදවුරට ඉකුත් 13 වෙනිදා සිට ඉස්ලාමිය ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාර එල්ල කොට එහි සිටි පවුල් 130 ක් පැහැරගෙන ගොස් ඇති බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

එලෙස පැහැර ගෙන ගිය පිරිස අතර අමෙරිකානු සහ යුරෝපා ජාතිකයින්ද සිටින බවයි රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් හෙළිකර සිටියේ. ඔවුන් එම සරණාගත කදවුරේ සේවය සදහා පැමිණ සිටි සහන සේවා නිලධාරින්ද නැතහොත් සිරියානු සටන්කාමින් සමග එක්ව සටන් කිරීමට පැමිණි සටන්කරුවන්ද යන්න ගැන මෙතෙක් තහවුරු කර ගැනීමට හැකිවී නැහැ.

පැහරගෙන ගිය පිරිසෙන් මේ වන විට විශාල පිරිසක් ඉස්ලාමිය ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර ඇති බවත් මේ වන විට දෛනික ප්‍රාණ ඇපකරුවන් 10 දෙනා බැගින් ඝාතනය කරන බවට ඔවුන් තර්ජනය කර ඇති බවයි රුසියානු ජනාධිපතිවරයා සදහන් කර සිටින්නේ.

සිරියාවේ සහ ඉරාකයේ පිහිටි ඉස්ලාමිය ත්‍රස්තවාදීන්ගේ පාලනයේ පැවති විශාල භුමි ප්‍රමාණයක් ඔවුන්ට ගතවු වසර දෙකක කාලය තුලදී අහිමිවී ගියා. ඒ හේතුවෙන් මෙම සටන මෙහෙයවූ ඉස්ලාමිය සටන්කරුවන්ගේ අණදෙන නිලධාරීන් ඇතුළු 700 කට ආසන්න ඉහළ පෙළේ අණදෙන නිලධාරින් ඝාතනය කරන ලෙස ඔවුන්ගේ නායක අබුබක්කර් අල්-බගාඩ් මිට සති දෙකකට ඉහතදී අණකොට ඇති බව ඉරාක ඔත්තු සේවා මගින් හෙළිකර සිටියා.

ඉස්ලාමිය සටන්කාමින් විසින් සරණාගත කඳවුරේ සිට පැහැර ගත් පුද්ගලයින්ගේ රුව සහිත ජයාරූප ඔවුන්ගේ වෙබ් අඩවි වල පළකර තිබෙනවා.