Thursday, April 25, 2024

General line - 0115112241

රාවණාට ගිනි තියනවා බලන්න ආ 60ක් දුම්රියේ හැපි මරුට (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ




ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේදී දුම්රිය මාර්ගය මත රැඳී සිටි හින්දු භක්තිකයින් පිරිසක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 60 ක් මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිට්සාර් ආසන්නයේ පිහිටි දුම්රිය මාර්ගයේදී මෙම අවාසනාවන්ත අනතුර අද (19) රාත්‍රියේ සිදුවී තිබෙනවා.

හින්දු භක්තිකයින් විසින් වාර්ෂිකව පවත්වනු ලබන " දුස්හ්රා උත්සවය" සදහා විශාල බැතිමතුන් සංඛ්‍යාවක් සහභාගිවී තිබෙනවා. එම උත්සවය අවසානයේදී රාවණා ගේ පිළිරුව ගිනි තබා විනාශ කිරීම සිදුකරනවා.

රාවණාගේ පිළිරුව ගිනි තබන අවස්ථාවේදී පැමිණ සිටි බැතිමතුන් 300 කට අධික සංඛ්‍යාවක් දුම්රිය මාර්ගය මතට ගොඩවී තිබෙන අතර ඒ අවස්ථාවේදී ජලන්දාර් සිට අම්රිට්සාර් බලා ගමන් කරමින් තිබු දුම්රියේ මෙම බැතිමතුන් ගැටී ඇති බව සදහන්. 

මේ වන විට අනතුරෙන් පුද්ගලයින් 60 දෙනෙක් මියගොස් තවත් 70 කට අධික පිරිසක් තුවාල ලබා සිටිනවා. මේ වන විටත් තුවාලකරුවන් රෝහල් ගත කරමින් සිටින බව සහන සේවකයින් සදහන් කරනවා.

උත්සව භුමියේ සවිකර තිබු ශබ්ද විකාශන යන්ත්‍ර සහ ගිනිකෙළි ශබ්දය නිසා දුම්රිය පැමිණෙන හඬ දුම්රිය මාර්ගයේ සිටි පුද්ගලයින්ට නොඇසෙන්නට ඇති බව එරට පොලිසිය සදහන් කරනවා.