Thursday, April 18, 2024

General line - 0115112241

වසරක වර්ෂාපතනය පැය 24ක් තුළ ඇද හැලී කටාරයට වෙච්ච දේ (PHOTOS)

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරට වාර්තා ගත වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා. ඒ හමුවේ දෝහා අගනුවර ප‍්‍රදේශ රැසක් ජල ගැලීම්වලට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එම වාර්තාවල දැක්වෙන පරිදි කටාර් රාජ්‍යයට වසරක් තුළ ඇද හැලෙන වර්ෂාපතනය පැය 24ක් තුළ ඇද හැලී තිබෙනවා. ඒ අනුව දෝහා අගනුවර අබුහාමර් ප‍්‍රදේශයට ඊයේ (20) දිනයේ මිලි මීටර් 61ක පමණ වාර්තා ගත වර්ෂාපතනයක් ඇද හැලූණා. 

ඒ හමුවේ දෝහා අගනුවර ජන ජීවිතය සම්පූර්ණයෙන් ඇණ හිට ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් අගනුවර ගමනාගමන කටයුතු අඩපණ වී ඇතැයිද සඳහන්. එසේම පාසල්, විශ්ව විද්‍යාල සහ කඩ සාප්පු රැසක් වසා දමා ඇති අතර නිවාස රැසක්ද ජලයෙන් යටව තිබෙනවා. ජල ගැලිම් තත්ත්වය තවදුරටත් දරුණු වෙමින් පවතින බැවින් ගොඩබිම හරහා ඇති උමං මාර්ග භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙසයි බලධාරීන් රියදුරන් දැනුවත් කර ඇත්තේ. මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් කටාර් රාජ්‍යයේ ගුවන් ගමන් කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා.

අසල්වැසි සවුදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය සමග පවතින රාජ්‍ය තාන්ත‍්‍රික අර්බුධය හමුවේ ඔවුන් කටාරයට සිය ගුවන් සීමාව භාවිත කිරීමට නොදෙන බැවින් කටාරය දැඩි අර්බුධයකට මුහුණ පා සිටින බවයි පැවසෙන්නේ. ඒ අනුව කටාරය බලා පියාසර කරන ඇතැම් ගුවන් යානා කුවේටයට සහ ඉරානයට හරවා යවා ඇතැයි සඳහන්. 

අයහපත් කාලගුණය හමුවේ කටාර් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයද තාවකාලිකව වසා දමා තිබෙනවා.