Friday, March 29, 2024

General line - 0115112241

සිරුරට කුමක් වුවාද දන්නේ නැහැ : අවාසනාවට බරපතළ වැරැද්දක් සිදුව තිබෙනවා - සෞදි විදේශ කටයුතු ඇමති (VIDEO)

දිනුක් හේවාවිතාරණ




තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුලදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට ලක්වූ ආකාරය හෝ ඔහුගේ සිරුරට කුමක් සිදු වුවාද යන්න ගැන තොරතුරක් නොමැති බව සෞදි අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර සිටියි.

සෞදි කොන්සියුලර් කාර්යාලය තුලට ජමාල් කෂෝගී ඇතුල් වීමෙන් පසු එහි සිටි "ආරක්ෂක කණ්ඩායමක්" ඔහුව සිය භාරයට ගෙන ඇති බවට පැවසෙන බවත් තුර්කි බලධාරීන් සිදුකරන විමර්ශනයට අමතරව තම රටද ඒ පිළිබදව විමර්ශන සිදුකරන බව අමෙරිකානු ෆොක්ස් රූපවාහිනී සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සෞදි විදේශ කටයුතු ඇමති ඇඩෙල් අල් ජුබියර් ප්‍රකාශ කර තිබෙනවා.

කොන්සියුලර් කාර්යාලය තුලදී ජමාල් කෂෝගී ඝාතනයට ලක්ව තිබෙනවා. එය කෙසේ සිදුවීද යන්න ගැන අපට සවිස්තාරාත්මක තොරතුරු නැහැ. අවම වශයෙන් ඔහුගේ සිරුරට කුමක් සිදුවීද යන්න ගැන අප දන්නේ නැහැ. නමුත් සැඟවී තිබෙන සියළුම දේ ගැන සෙවීමට අප කටයුතු කරනවා යැයි විදේශ අමාත්‍යවරයා කියා සිටියා.

ජමාල් කෂෝගී ගේ ඝාතනය පිළිබදව අදහස් පළකළ පළමු සෞදි බළධාරියා වන්නේද විදේශ කටයුතු ඇමතිවරයා වීම විශේෂත්වයක්.

ඉකුත් ඔක්තෝම්බර් 02 වෙනිදා තුර්කියේ සෞදි කොන්සියුලර් කාර්යාලයට ගිය මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ අතුරුදහන් වීමෙන් පසු සෞදි රජය ඔහු එම කාර්යාලයෙන් පිටව ගිය බව සදහන් කරමින් එකින් එකට වෙනස් ප්‍රකාශ කිහිපයක් සිදුකළා. මෙම සිදුවීම සම්බන්ධයෙන් සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එරට සදහන් කරනවා.

"මෙය භයානක අත්වැරැද්දක් මෙන්ම කෲර ඛේදවාචකයක්. අපේ ශෝකය ජමාල් කෂෝගී ගේ පවුලේ අයට පළකරනවා. ඔවුන්ගේ වේදනාව අපට දැනෙනවා "යැයි සෞදි විදේශ කටයුතු ඇමතිවරයා කියා සිටියා.

 "අවාසනාවකට, දැවැන්ත හා බරපතළ වැරැද්දක් සිදුව තිබෙනවා. මෙම සිද්ධියේ වගකිවයුත්තන්ට එරෙහිව සියළු අප අවශ්‍ය පියවර ගන්නවා" යැයි විදේශ කටයුතු ඇමති ඇඩෙල් අල් ජුබියර් මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා.

මේ අතර තුර්කිය සදහන් කරන්නේ කිසිදු හේතුවක් මත මෙම ඝාතකයින් වෙනුවෙන් හෝ සෞදියට වාසි වන ලෙස තමන් කටයුතු නොකරන බවයි.