Friday, March 29, 2024

General line - 0115112241

ශ්වේත පූජා පිංකමට සමගාමීව තවත් ආගමික වැඩසටහන් රැසක් (UPDATE)




වප් පුර පසළොස්වක පොහොය යෙදෙන අද (24) රටපුරා බොහෝ වෙහෙර විහාරස්ථානවල විවිධ පිංකම් සංවිධාන කර තිබෙනවා. නෙත් එෆ්. එම්. රේඩියෝවේ පොහොය දින ශ්වේත පූජා වැඩසටහන අද පැවැත්වෙන්නේ පන්නල, යක්විල, වේරහැර ශ‍්‍රී සිද්ධර්ථාරාම පුරාණ රජමහා විහාරස්ථානයේදීයි. 

උදෑසන සැදැහැවතුන් අෂ්ටාංග ශීලයෙහි පිහිටුවීමෙන් මෙම වැඩසටහන ආරම්භ වුණා. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ සම්බුද්ධ පූජා වැනි පිංකම් ද ඊට ඇතුළත්. සැදැහැවතුන් බොහෝදෙනෙකු මෙම පිංකම්වලට සහභාගී වී සිටිනවා.

නෙත් එෆ්. එම්. රේඩියෝවේ පහන් කන්ද ආශිර්වාද පූජාව අද පැවැත්වෙන්නේද පන්නල, යක්විල, වේරහැර ශ‍්‍රී සිිද්ධර්ථාරාම පුරාණ රජමහා විහාරස්ථානයේදීයි. පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්ගේ වැඩම වීමෙන් පස්වරු 05.30ට මෙම ආශිර්වාද පූජාව ආරම්භ වනවා. 

ගිතෙල් පහන් ආශිර්වාද පූජාව ද පන්නල, යක්විල, වේරහැර ශ‍්‍රී සිිද්ධර්ථාරාම පුරාණ රජමහා විහාරස්ථානයේදී අද සිදු කිරීමට නියමිතයි. රාත‍්‍රී 08.00ට ආරම්භ වන මෙම ආශිර්වාද පූජාව පූජ්‍ය ගනේකන්දේ චන්දරත්න හිමියන් විසින් මෙහෙයවනු ලබනවා. 

පන්නල, යක්විල, වේරහැර ශ‍්‍රී සිිද්ධර්ථාරාම පුරාණ රජමහා විහාරස්ථානයට පැමිණ හෝ නෙත් එෆ්. එම්. රේඩියෝවට සවන් දීමෙන් ඔබටද මෙම පිංකම්වලට සහභාගී වී පිං රැස්කර ගත හැකියි. 
 

----------------------------------

වප් පුර පසළොස්වක පෙහොය අද - 'ශ්වේත පූජා' වේරහැර ශ‍්‍රී සිද්ධර්ථාරාම පුරාණ රජමහා විහාරස්ථානයේදී

(24-10-2018 06:28)

 

වප් පුර පසළොස්වක පෙහොය අදට (24) යෙදී තිබෙනවා.

සම්බුද්ධ ශාසනයේ වැදගත් අස්ථා කිහිපයක්ම මෙම පොහොය දිනය සමග බැදී පවතිනවා.

ශාසන ඉතිහාසයට අනුව සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතානන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම, අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භක්‍ෂුණී සංඝයාත්, ජය ශ්‍රී මහා බෝධි ධාමයේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිදු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් සතුටු පඬුරුත් රැ‍ගෙන අරිෂ්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනයකයි.

මාතලේ ශ‍්‍රී විද්‍යානන්ද පිරිවනේ විහාරාධිපති, ශ‍්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් සඳහන් කළේ කඨින පිංකම් සිදු කෙරෙන බැවින් මෙම මාසය චීවර මාසය ලෙස ද හැඳින්වෙන බවයි. කඨින චීවර පූජාව යනු සම්බුද්ධ ශාසනයේ විස්තර වන මහා පුණ්‍යකර්මවලින් එකක්. ඒ අනුව මෙම මාසය පුරා කඨින චීවර පූජාවට දායක වී පිං රැස්කර ගැනීමට සැදැහැවතුන්ට හැකි වනවා.

මේ අතර නෙත් එෆ්. එම්. රේඩියෝවේ පොහොය දින ශ්වේත පූජා වැඩසටහන පන්නල, යක්විල, වේරහැර ශ‍්‍රී සිද්ධර්ථාරාම පුරාණ රජමහා විහාරස්ථානයේදී මේ වනවිට පැවැත්වෙනවා.

විවිධ පිංකම් රැසකට දායක වී පිං රැස්කර ගැනීමට මෙහිදී සැදැහැවතුන්ට හැකියි. 

රට පුරා සෙසු විහාරස්ථාන සියල්ලකම පාහේද වප් පුර පසළොස්වක පොහොය නිමිත්තෙක් අද විවිධ පිංකම් සංවිධාන කර තිබෙනවා.