Tuesday, April 23, 2024

General line - 0115112241

සුපිරි පිතිකරු සචින්ගේ වාර්තාවක් කෝලි තමන් සතුකර ගත් හැටි (VIDEO)

දිනුක් හේවාවිතාරණ




එක්දින තරග ඉතිහාසයේ වේගවත්ම ලකුණු 10,000 සම්පුර්ණ කිරීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දියාවේ සුපිරි පිතිකරු වීරාත් කෝලි අද (24) සමත් වුනා. මෙම වාර්තාව තමන් සතු කර ගැනීමට කෝලි හට වැයවුයේ ඉණිම් 205 ක් පමණයි. මේ වන විට ඔහු එක්දින තරග 213ක් ක්‍රීඩා කර තිබෙනවා.

මිට පෙර එම වාර්තාව සතුවුයේ තවත් ඉන්දීය පිතිකරුවෙක් වන සචින් තෙන්ඩුල්කාර්ටය. ඔහුට එක්දින ලකුණු 10,000 සම්පුර්ණ කිරීමට ඉණිම් 259ක් වැයවී තිබුනා.

අද දිනයේදී සිය ඉණිම ආරම්භ කරන විට කෝලි ලකුණු 10,000 කඩඉමට ලකුණු 81ක් පසු පසින් සිටියා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති 2 වන එක්දින තරගයේදී ලකුණු 10,000 කඩඉම පසුකළ කෝලි සිය ඉණිම අවසන් කළේ පන්දු 129 කදී ලකුණු 157ක් රැස්කර ගනිමින්. එය කෝලි එක්දින තරග වලදී වාර්තා කළ 37 වන ශතකයයි.

එක්දින තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන්නේ සචින් තෙන්ඩුල්කාර් විසින්ය. සචින් එක්දින තරග 463 කදී ශතක 49 ක් සමගින් ලකුණු 18,426ක් රැස්කර ගෙන තිබෙනවා. මිට වසර 6 කට පෙර එක්දින පිටියෙන් සචින් සමුගන්නා විට ඔහුගේ වාර්තාව සමකිරීමට සමත් පිතිකරුවෙක් බිහිවේදැයි මතුවූ ප්‍රශ්නයට මේ වන විට පිළිතුර වී ඇත්තේ විරාත් කෝලි වීමද විශේෂත්වයක්.

සිය වාර්තාව අභිබවා යාමත් සමග ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සචින් තෙන්ඩුල්කාර් විරාත් කෝලි හට සිය සුභ පැතුම් එක් කර සිටියා.

මේ අතර ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද පැවති 2 වන එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. ඒ ලකුණු සමවීම හේතුවෙන්.

මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 50 දී කඩුලු 6ක් දැවී ලකුණු 321ක් රැස් කර ගනු ලැබුවා. ලකුණු 322 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිතිකරුවන් සිය ඕවර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 321ක් රැස් කිරීමට සමත් විය.

තරග 5 කින් යුත් එක්දින තරගාවලිය 1-0ක් වශයෙන් පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව සිටිනවා.