Thursday, April 25, 2024

General line - 0115112241

සැම වෙත එක ලෙස ඉගෙනුම ගෙන දෙන විදැස ඩිජිටල් ඉස්කෝලේ - PEO TV නවතම අධ්‍යාපන ව්‍යාපෘතිය




නැණ ගුණ සපිරුණු අනාගත ශ්‍රී ලංකාවක් උදෙස ශ්‍රී ලංකා ටෙලිකොම් PEO TV විසින් හඳුන්වාදෙන නවතම අධ්‍යාපනික නාලිකාව “විදැස” නමින් 2018 වර්ෂයේ ඔක්තෝබර් මස 13 වන දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් ගම්පහ බණ්ඩාරනායක විදුහලේදී සිසු අයිතියට පත්කර තිබෙනවා. 

විදැස නාලිකාව PEO TV විසින් හඳුන්වාදුන් නවතම අධ්‍යාපනික ව්‍යාපෘතිය වන අතර මේ තුළින් 6 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා එක් ශ්‍රේණියකට එක් නාලිකාව බැගින් නාලිකා 6 ක් හඳුන්වාදී ඇත. මෙම නාලිකා පිළිවෙලින් විදැස 6, විදැස 7, විදැස 8 ආදී වශයෙන් විදැස 11 දක්වා ව්‍යාප්ත වේ. PEO TV නාලිකා ගොනුවේ විදැස නාලික ගොන්න ආරම්භ වන්නේ නාලිකා අංක 206 න් වේ. අනතුරුව නාලිකා අංක 207, 208 ආදී වශයෙන් නාලිකා අංක 211 දක්වා විදැස නාලිකා පෙලගස්වා ඇත. 

විදැස අධ්‍යාපනික නාලිකාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා ධර්මවාහිනී පදනම සම්පත් දායකත්වය සපයනවා. මේ අනුව විදැස සියලුම නාලිකා වල විෂය කරුණු උගන්වනුයේ රජයේ පාසල් ගුරුවරුන්ය. එසේම පාසල් විෂය නිර්දේශයට සමගාමීව විදැස නාලිකා සියල්ලම විකාශනය කරනවා ඇත. පාසලෙන් පසු සිසු දරුවන්ට සිය නිවසේදී වුව නිදහසේ තමන්ට හැකි ලෙසින් සිය අධයාපන කටයුතු දිගටම කරගෙන යාමේ හැකියාව මේ අනුව සිසු දරුවන්ට ලැබේ. 

තවද PEO TV හඳුන්වාදෙන විදැස අධ්‍යාපනික ව්‍යාපෘතිය හේතුවෙන් දෙමාපියන්ටද හිමිවන්නේ විශාල සහනයක් බවයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සදහන් කරන්නේ. අනාගත ඩිජිටල් අධ්‍යාපනික ලෝකයක වර්තමාන පළමු පියවර වන විදැස අධ්‍යාපන නාලිකා සමූහය ඩිජිටල් ඉස්කෝලය නමින්ද හඳුන්වනවා ඇත. 

PEO TV යනු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර මේ වන විට දෙස්  විදෙස් නාලිකා 140 කට අධික ප්‍රමාණයක් ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයා වෙත ලබාදෙනු ඇත.