Friday, April 19, 2024

General line - 0115112241

ගෝඨාභයට රට යන්න අවසර




 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මසක කාලයක් විදේශ ගත වීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (09) අවසර ලබා දුන්නා. ඒ අනුව දෙසැම්බර් මස 14 දා සිට මසක කාලයක් ඇමරිකාවේ සංචාරය කිරීම සඳහා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහැරීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා.

විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ  විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ විත්ති පාර්ශවයේ නීතිඥවරු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව ඒ ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කවුතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ නඩුව නොවැම්බර් මස 27 කැදවීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා.

එහිදී අධි චෝදනාවලට අදාල ඇතැම්  ලේඛන විත්ති පාර්ශවය වෙත භාර දී ඇති බවත් විත්තය විශේෂිතව ඉල්ලා ඇති ලේඛන ද ඉදිරියේ ලබා දීමට කටයුතු කරන බව නීතිපතිවරයා දැනුම් දුන්නා .

ඒ අනුව එම ලේඛන විත්ති පාර්ශවයට ලැබී ඇත්දැයි සොයා බැලීමට නඩුව නොවැම්බර් 27 දා කැදවීමට නියමිතය .

මෙම නඩුව දෙසැම්බර් මස 4 දා සිට දිනපතා විභාගයට ගැනීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට පෙර  නියෝග කළා.

ගෝඨාභය රාජපක්ෂ, හර්ෂාන් ද සිල්වා , භද්‍රා උදුලාවතී, කේමින්ද ආටිගල , ඒබ්‍රහම් ගලප්පත්ති , මහින්ද සාගල සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අය අය ඇප මත  මුදාහැර ඇති අතර ඔවුන් අද ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරනය ඉදිරියේ පෙනී සිටියා.

මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරිමට පත් කළ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කරන දෙවන නඩුව මෙම නඩුව වේ. 

අධිචෝදනා පොදු දේපල පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ   සාපරාධී විශ්වාසය කඩකිරීම , කුමන්ත්‍රනය, ඊට අනුබල දීම ආදී චෝදනා හතක් යටතේ ගොනු කර ඇත.

අධි චෝදනාවට අදාළව ලේඛන ඇතුළු නඩු භාණ්ඩ 105 ක් සහ විගණන වාර්තාවක් නීතිපතිවරයා විසින් ඇතුළත් කර ඇත. සාක්ෂිකරුවන් 80 ක් නම් කර ඇත .