Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන ජාත්‍යන්තරය තවදුරටත් අදහස් පලකරයි

හේමන්ත කහවලගේ/ තරංග රුක්ෂාන්




ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව තවදුරටත් අදහස් පළ කරමින් සිටිනවා.  ඕස්ටේ‍්‍රලියානු විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් තම රජය කළකිරීමෙන් හා කණස්සල්ලෙන් පසුවන බවයි. මෙම තීරණයත් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ස්ථාවරත්වය පිළිබඳ අවධානමක් පවතින බවත්, රටේ ප‍්‍රජාතන්ත‍්‍රික ආයතනවලට ගරු කරමින් කටයුතු කිරීම සියලූ පාර්ශවවල වගකීම බවත්  ඕස්ටේ‍්‍රලියාව පවසනවා. 

යුරෝපා සංගමය ද පවසන්නේ ශ‍්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික ගැටළුවලට සාමකාමී විසඳුමක් අපේක්ෂාවෙන් සිටින බවයි. පවතින අර්බුදය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කඩිනමින් විසඳනු ඇතැයි යුරෝපා සංගමය අපේක්ෂා කරනවා. ඉන්දීයාවේ ඩී එම් කේ පක්ෂය ද පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ඉන්දීය මධ්‍යම රජය කඩිනම් පියවර ගත යුතු බවයි. 

මේ අතර බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී නෙස්බි ස්වාමි ද ශ‍්‍රී ලංකාවේ දේශපාලන තත්වය පිළිබඳ අදහස් පළ කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා රටට සුබවාදී ලෙස කටයුතු කර ඇති බවයි. ජනතාවගේ කැමැත්තට අනුව ජනාධිපතිවරයා මැදිහත් වී ක‍්‍රියා කළ බවට තමා විශ්වාස කරන බවයි නෙස්බි ස්වාමි වැඩිදුරටත් පවසා ඇත්තේ.