Saturday, April 20, 2024

General line - 0115112241

මහ මැතිවරණයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

ඩිල්ෂාන් මඩවල




පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ ඒ දිස්ති‍්‍රක්කයෙන් තෝරා පත් කර ගැනීමට නියමිත මන්තී‍්‍රවරුන් ගණන දැක්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනය මේවනවිට නිකුත් කර තිබෙනවා. ඒ ඒ දිස්ති‍්‍රක්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ යුතු නාමයෝජනාවල ඇතුළත් කළ යුතු අපේක්ෂක සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් පිළිබඳ විස්තර ද ඊට ඇතුළත්.
 
කොළඹ දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍රවරුන් 19දෙනෙකු, ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍රවරුන් 18දෙනෙකු, කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍රවරුන් 15දෙනෙකු සහ මහනුවර දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍රවරුන් 12දෙනෙකු තෝරා ගැනෙනවා. රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍රවරුන් 11 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි.

කලූතර සහ ගාල්ල යන දිස්ති‍්‍රක්කවලින් මන්තී‍්‍රවරුන් 10 දෙනෙකු බැගින්ද, අනුරාධපුර සහ කෑගල්ල යන දිස්ති‍්‍රක්කවලින් මන්තී‍්‍රවරුන් 09දෙනෙකු බැගින්ද, තෝරා ගැනෙනු ඇති. 

නුවරඑළිය, පුත්තලම සහ බදුල්ල යන දිස්ති‍්‍රක්කවලින් මන්තී‍්‍රවරුන් 08දෙනෙකු බැගින් තෝරා ගැනෙනවා. මාතර, හම්බන්තොට, යාපනය සහ දිගාමඩුල්ල යන දිස්ති‍්‍රක්කවලින් මන්තී‍්‍රවරුන් 07දෙනෙකු බැගින්ද වන්නි සහ මොණරාගල යන දිස්ති‍්‍රක්කවලින් මන්තී‍්‍රවරුන් 06දෙනෙකු බැගින්ද, තෝරා ගැනීමට නියමිතයි. මඩකලපුව සහ පොලොන්නරුව යන දිස්ති‍්‍රක්කවලින් මන්තී‍්‍රවරුන් 05දෙනෙකු බැගින් තෝරා ගැනෙනු ඇති. 

අඩුම මන්තී‍්‍රවරුන් සංඛ්‍යාවක් තෝරා ගැනෙන්නේ තී‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයෙන්. එම සංඛ්‍යාව 04දෙනෙක්.

සෑම දිස්ති‍්‍රක්කයකම නාම යෝජනා පත‍්‍රවලට එම දිස්ති‍්‍රක්කයෙන් තෝරා ගැනෙන මන්තී‍්‍රවරුන් ගණනට වඩා තුන්දෙනෙකු වැඩියෙන් අපේක්ෂකයන් ඇතුළත් කළ යුතු වනවා. ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කළ යුත්තේ එක් අපේක්ෂකයෙකුට රුපියල් දෙදහසක් බැගින් වන පරිදියි. 
ඇප මුදල් භාර ගැනීම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලවලදී සිදු කෙරෙනු ඇති.