Friday, April 26, 2024

General line - 0115112241

අද පැවැත්වෙන හමුව ගැන ජවිපෙ සැකයෙන්

කසුන් කැළුම්/දිල්ශාන් තුෂාර/ නිශාන් ද සිල්වා




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අද (18) කැඳවා තිබෙන සර්ව පක්‍ෂික හමුවට සහභාගි වන බව මේ වනවිට පක්‍ෂ රැසක් තහවුරු කර තිබෙනවා.

පාර්ලිමේන්තුව තුළ ඉකුත් දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරි තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලූ දේශපාලන පක්‍ෂ අතර එකගතාවක් ඇති කර ගැනීම මෙම සර්ව පාක්‍ෂික හමුවේ අරමුණයි.

එක්සත් ජාතික පක්‍ෂයද මෙම සර්ව පාක්‍ෂික හමුවට සහභාගි වන බවයි එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් පැවසුවේ. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියාසිටියේ තමන් සමග පක්‍ෂයේ නියෝජිතයන් කිහිප දෙනෙකුද ඊට එක්වන බවයි. 

ජනාධිපතිවරයා කැඳවූ මෙම සර්ව පක්‍ෂික හමුව පිළිබද තමන්ට විශ්වාසයක් නොමැති බවයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේ.

එහි පාර්ලිමේන්තු මන්ති‍්‍ර බිමල් රත්නායක සඳහන් කළේ "දැන දැනම හිත හිතා දේශපාලන අස්ථාවර කරන...ව්‍යවස්ථාව උල්ලංගණය කරන පුද්ගලයෙක්. මේක මේ කාලය ගන්න කරන කෝලමක්. ඒ නිසා මේ පුද්ගලයාගේ කටයුතු සම්බන්ධයෙන් අපිට කිසිම විශ්වාසයක් නෑ." යනුවෙනි.

ඒ අනුව මෙම හමුවට තමන් අද දිනයේදී සහභාගී නොවන බවයි ජනතා විමුත්කි පෙරමුණ පෙන්වා දෙන්නේ.

තමන්ද අද පැවැත්වෙන සර්ව පාක්‍ෂික හමුවට සහභාගි වන බවයි ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකිම් කියාසිටියේ.

දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයද අද පැවැත්වෙන සර්ව පාක්‍ෂික හමුවට සහභාගි වන බවයි එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මෙම සර්ව පාක්‍ෂික හමුව අද පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්‍ෂ නායකයන්ට මේ සඳහා ජනාධිපතිවරයා ආරාධනා කර තිබෙනවා. කතානායක කරූ ජයසූරිය මහතාටද මේ සඳහා ආරාධනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.