Saturday, April 20, 2024

General line - 0115112241

රේගුව මෑත ඉතිහාසයේ ඇල්ලූ විශාලම දුම්වැටි තොගය මෙන්න (PHOTOS)

ටී.කේ.ජී කපිල - කටුනායක




විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (18) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවා.

මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ තුළ මෑත ඉතිහාසයේ සිදු කළ විශාලතම දුම්වැටි වැටලීමක් බවයි අනාවරණය වෙන්නේ.

මෙම දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ සිව් දෙනා කුළියාපිටිය, නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31,49 සහ 40 වයස්වල පසුවන ව්‍යාපාරිකයින් තිදෙනකු සහ වයස අවුරුදු 39 ක් වන ව්‍යාපාරික කාන්තාවක් වනවා. 

මොවුන් කණ්ඩායමක් වශයෙන් සංවිධානය වී විදේශ රටවල් වෙත ගොස් එම රටවලින් විවිධ භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ යෙදී සිටිනන් බව රේගුව සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය කර ගෙන තිබෙනවා.

මොවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලුවල රුපියල් 69 ලක්ෂයක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 1,38,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 690 සගවා ගෙන තිබූ බව රේගුව පැවසුවා.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්නගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ. කරුණාරත්නගේ අධීක්ෂණය යටතේ, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන යූ.කේ. අශෝක රංජිත්, ඩී.පී.එම්. ගුණවර්ධන, රේගු අධිකාරීවරුන් වන ආර්.එම්.කේ. දයානන්ද, එස්. රණසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන ඩී.එම්.ආර්. සිරිල්, එච්.ඒ.පී.එන්. ගුණවර්ධන, එල්.එස්. ගමගේ සහ ජී.ටී.ටී.රත්නායක යන නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.