Friday, March 29, 2024

General line - 0115112241

උඩවලවේදී වෙඩි උණ්ඩයකට බිළිවූ ඇත් පැටවාගේ තොරතුරු හෙළිවෙයි




උඩවලව ජලාශයේ පිටවාන අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරික්ෂණය උඩවලව වනජීවී පශූ වෛද්‍ය මාලක අබේවර්ධනගේ මෙහෙයවීමෙන් අද (01) සිදු කෙරුණා. එහිදී අනාවරණ වූයේ බෙහෙත් කොටන තුවක්කුවකින් ඇත් පැටවාට වෙඩි තබා ඇති බවයි. ඇත් පැටවාගේ හිසට සහ තවත් ස්ථාන 03කට මෙහිදී වෙඩි ප‍්‍රහාර එල්ල වී තිබුණා.

පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසුව ඇත් පැටවාගේ සිරුර වළ දැමුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අවුරුදු 10 ත් 12ත් අතර වයසේ පසුවන ඇත් පැටවෙකු මෙලෙස ඝාතනය කර තිබෙනවා. ඊයේ (30) පස්වරුවේ මෙම ඇත්පැටවා උඩවලව රක්ෂිතයේ අලි වැටෙන් පිටත සීමාවට පැමිණ පහේ කණුව ගම්මානයට යන ආකාරය ද ප‍්‍රදේශවාසීන් දැක තිබෙනවා. ඒ පිළිබඳව උඩවලව වන ජීවී කාර්යාලයට දැනුම් දුන්න ද ඔවුන් කි‍්‍රයාත්මක නොවූ බවයි ප‍්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. ඝාතනය කෙරුණු ඇත් පැටවා පිරිමි සතෙකු බවත්, දැනට වසරක පමණ කාලයක සිට රෑනෙන් වෙන්ව හුදෙකලාව වාසය කළ බවත්, අනාවරණ වී තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කර සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසයි වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර වනජීවී නිලධාරීන්ට නියෝග කර ඇත්තේ. ඇත් පැටවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

......................................................

උඩවලවේ අැත් පැටවකු වෙඩි තබා මරා දමයි

(01-12-2018 11:48)

උඩවලව ජලාශයේ පිටවාන අසල තිබී වෙඩි වැදී මියගිය ඇත් පැටවෙකුගේ සිරුරක් අද (01) උදෑසන සොයා ගැණුනා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වෙඩි ප‍්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ වයස අවුරුදු 10 ත් 12 ත් අතර වයසේ පසුවන ඇත් පැටවෙකු බවයි. මෙම ඇත් පැටවාට වෙඩි තැබූ පුද්ගලයන් පිළිබද මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

ඊයේ පස්වරුවේ මෙම ඇත් පැටවා උඩවලව රක්‍ෂිතයේ අලි වැටෙන් පිටත සීමාවට පැමිණ පහේ කණුව ගම්මානය ප‍්‍රදේශයට යන ආකාරය ප‍්‍රදේශවාසීන් දැක තිබෙනවා. ඒ පිළිබද උඩවලව වනජිවි කාර්යාලයට දැනුම් දී ඇතත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක නොවූ බවටයි ප‍්‍රදේශවාසීන් චෝදනා කරන්නේ

මෙම චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් උඩවලව වනෝද්‍යානයේ උද්‍යාන භාරකරුගෙන්ද විමසීමක් කළා.  ඔහු කියාසිිටියේ විදුලි වැට සම්බන්ධයෙන් මතු වු ගැටළුවක් මෙම සිද්ධියට හේතුවක් නොවන බවයි. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස්, වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගෙන්ද විමසීමක් කළා. ඔහු කියාසිටියේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකර සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස තමන් අදාළ නිලධාරීන්ට නියෝග කළ බවයි. වනජිවි දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂවරයෙකු යටතේ එම පරීක්‍ෂණ සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.