Friday, March 29, 2024

General line - 0115112241

‘‘යුක්තියේ යාත‍්‍රාව’’ මහියංගනයෙන් අවසන් වෙයි (UPDATE)




එක්සත් ජාතික පක්ෂයේ යුක්තියේ යාත‍්‍රාව රථ පෙළපාලිය අද (02) අවසන් වුණා. ඒ මහියංගනයෙන්. මෙම රථ පෙළපාලිය ඊයේ කොළඹින් ආරම්භ වූ අතර 
ඒ සඳහා රථ වාහන පෙරටුකොට ගත් විශාල පිරිසක් එක්ව සිටියා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය දිනා ගැනීම වෙනුවෙන් ඉදිරියේදී තවදුරටත් කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර නෙත් නිවුස් වෙත කියා සිටියේ.

රථ පෙළපාලියෙන් පැමිණි පිරිස ඊයේ පස්වරුවේ දෙවුන්දරදීද, අද දිනයේ කතරගම සහ මහියංගනයේදීද දේවකන්නලව් සඳහා සහභාගී වුණා. ඒ, සාධාරණය ඉටු කර ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය සුරකින ලෙසට ඉල්ලමින්. අද පස්වරුවේ මහියංගනයේදී අධිෂ්ඨාන පූජාවක් ද පැවැත්වීමටයි එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන ඇතුළු පිරිස සූදානමින් සිටින්නේ. 

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද රාති‍්‍රයේ පැවැත්වෙනවා. 

 

..................................................................

‘‘යුක්තියේ යාත‍්‍රාව’’ අද කතරගමදී විශේෂ පූජාවක් සිදු කරයි (UPDATE)

(02-12-2018 06:50)

එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන ‘‘යුක්තියේ යාත‍්‍රාව’’ රථ පෙළපාලිය දෙවිනුවර සිට මහියංගනය බලා අද (02) ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

‘‘ජනතා අයිතිවාසිකම් සුරකිනු - ව්‍යවස්ථාවට ගරු කරනු’’ යන්න තේමාව කර ගනිමින් පැවැති මෙම රථ පෙළපාලිය ඊයේ (01) රාති‍්‍රයේ පළමු දිනයේ ගමනාන්තය වූ දෙවිනුවරට ළගා වුණා.

දෙවිනුවරින් අද ආරම්භ වන මෙම රථ පෙළපාලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර අදහස් පළ කරමින් සඳහන් කළේ අද දිනයේ පෙරවරු 8.00ට ආරම්භ කෙරෙන ‘‘යුක්තියේ යාත‍්‍රාව’’ මාතර, තංගල්ල, තිස්සමහාරාම, කතරගම, වැල්ලවාය, මොණරාගල, බුත්තල, මහියංගනය කරා ගමන් කරන බවයි. තිස්සමහාරාමයේ දැවැන්ත රැළියකුත් කතරගමදී දේවාලේ පූජාවකුත් සංවිධානය කර ඇති බවත් පැවසුවා.

------------------------------

එජාපයේ යුක්තියේ යාත‍්‍රාව දෙවුන්දරට ළගාවෙයි (PHOTOS)

(01-12-2018 19:15)

 

එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන යුක්තියේ යාත‍්‍රාව රථ පෙළපාලිය මේවනවිට එහි ගමනාන්තය වන දෙවුන්දරට ලඟා වෙමින් තිබෙනවා. මීට නොබෝ වේලාවකටය පෙර මෙම රථ පෙළපාලිය මාතර නගරයට ළගා වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙම රථ පෙළපාලිය අද (01) උදෑසන ආරම්භ වුයේ කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින්. රථ පෙළපාලිය ආරම්භ කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා.

අනතුරුව මෙම රථ පෙළපාලිය ගාලූ පාර ඔස්සේ දෙවුන්දර බලා ගමන් ආරම්භ කළා. මේ, එම රථ පෙළපාලිය කලූතරට පැමිණී අවස්ථාවේ අදහස් පළ කළ පාර්ලිෙමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු.

යුක්තියේ යාත‍්‍රාව රථ පෙළපාලියේ හෙට දිනයේ දෙවුන්දර සිට මහියංගණය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

.............................................................................

එජාපයේ යුක්තියේ යාත‍්‍රාව අම්බලන්ගොඩට ළගාවෙයි (PHOTOS)

(01-12-2018 15:00)

එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන යුක්තියේ යාත‍්‍රාව රථ පෙළපාලිය මීට නොබෝ වේලාවකට පෙර  අම්බලන්ගොඩට ළඟා වුණා. මෙම රථ පෙළපාලිය අද (01) උදෑසන ආරම්භ වුයේ කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින්.

එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් රැසක් මෙම රථ පෙළපාලියට එක්ව සිටිනවා. යුක්තියේ යාත‍්‍රාව රථ පෙළපාලියේ අද ගමනාන්තය වන්නේ දෙවුන්දරයි. හෙට (02) දිනයේ දෙවුන්දර සිට මහියංගණය දක්වා මෙම රථ පෙළපාලිය ගමන් කිරීමට නියමිතව තිබෙනවා.
 

..............................................................................................

යුක්තියේ යාත‍්‍රාව 

(01-12-2018 12:39)

ජනතා අයිතිවාසිකම් සුරකිනු - ව්‍යවස්ථාවට ගරු කරනු යන තේමාව ඔස්සේ එක්සත් ජාතික පක්‍ෂය සංවිධාන කරන යුක්තියේ යාත‍්‍රාව රථ පෙළපාලිය අද උදෑසන ආරම්භ කෙරුණා. ඒ, කොළඹ මහනගර සභාව ඉදිරිපිට පැවති ආගමික වතාවත්වලින් අනතුරුවයි. එම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් රැුසක් අවස්ථාවට එක්ව සිටියා.

කොළඹ සිට මහියංගණය දක්වා ගමන් ගන්නා එම රථ පෙළපාලියේ පළමු දිනය වන අද නැවතුම් ස්ථානය වන්නේ දෙවුන්දරයි. අද එම රථ පෙළපාලිය කොළඹ සිට දෙවුන්දර දක්වා ගමන් කරනවා. හෙට දිනයේ දෙවුන්දර සිට මහියංගණය දක්වා එම රථ පෙළපාළිය ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර මහමැතිවරණයක් වහාම පත්වන ලෙස ඉල්ලා පැවිදි හඩ සංවිධානය සංවිධාන කරන රථ පෙළපාලියක් අද දෙවුන්දරින් ආරම්භ වුණා.