Saturday, April 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නීතිපතිගේ කරුණු දැක්වීම අවසන් (UPDATE)

අධිකරණ වාර්තාකරු




පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදත් (05) විභාගයට ගැණුනා. 

මෙම පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ කරුණු දැක්වීමයි අද මුලින්ම සිදු කෙරුණේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 - 2 සහ 70 යන ව්‍යවස්ථා ප‍්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ විධායක බලතල ජනාධිපතිවරයාට හිමිවන බව නීතිපතිවරයා එහිදී කියා සිටියා.

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අදාළ ගැසට් නිවේදනය නිසා ජනතාවය මැතිවරණයක් මගින් සිය ඡන්ද බලය භාවිත කිරීමට ද අවස්ථාවක් ලබාදී ඇති බවයි නීතිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. 

නීතිපතිවරයාගේ මෙම කරුණු දැක්වීමෙන් පසුව අතරමැදි පාර්ශවයන්ගේ කරුණු දැක්වීම ආරම්භ කෙරුණා. එහිදී මහාචාර්ය ජී එල් පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පැවසුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ ව්‍යවස්ථානුකූලව බවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 - 2 සී සහ 62 - 2 ව්‍යවස්ථාවන් මගින් ජනාධිපතිවරයාට ඒ සදහා බලය ලැබී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා. 

සෙසු අතරමැදි පාර්ශවකරුවන්ගේ කරුණු දැක්වීම හෙට සිදු කිරීමට නියමිතයි. ඒ සදහා හෙට (06) පෙරවරු 10ට මෙම පෙත්සම් විභාගය යළි කැදවෙනු ඇති. 
----------------------------------------------------------------------------------------------------------------------------------

ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය ගැන නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අනාවරණය (UPDATE)

05-12-2018 11:42

පසුගිය නොවැම්බර් මස 9 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් අද (05) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දෙවන දිනට විභාගයට ගැනීම ආරම්භ වුණා.

එහිදී නීතිපති ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ මේ අවස්ථාවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල රාජකාරියක් අභියෝගයට ලක් කර ඇති බැවින් පෙත්සම්කරුවන් ඉල්ලා ඇති සහන ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි. 

එම නිසා එම පෙත්සම් ප්‍රතික්ෂේප කරන ලෙසට නීතිපතිවරයා ඉල්ලා සිටියා.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කර ඇත්නම් එවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 ව්‍යවස්ථාවේ දක්වා ඇති බවත් එහිදී කථානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විභාගයක් කිරීමට ඉල්ලීමක් කළ යුතු බව නීතිපතිවරයා දැනුම් දුන්නා. ඒ අනුව ජනාධිපතිවරයාගේ කටයුතු අභියෝගයට ලක් කිරීමේ ක්‍රියාව පාර්ලිමේන්තුව සතු කාර්යයක් බව නීතිපතිවරයා පවසා සිටියා.

මේ අවස්ථාවේ පෙත්සම්කරුවන් ඉල්ලා ඇති සහනය මූලික අයිතිවාසිකම් පෙත්සම් මාර්ගයෙන් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියා.

ඒ අනුව විධායයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා, ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ලෙසට කටයුතු කිරීමේ කටයුතු මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා වැඩිදුරටත් පැවසුවා .

මෙම පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෲ ,විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන,විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ  අද   විභාගයට ගැනීම ආරම්භ වුණා .

------------------------------------

පෙත්සම් විභාගය ඇරඹෙයි (UPDATE)

05-12-2018 10:37

 

පසුගිය නොවැම්බර් මස 9 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම්  අද (05) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දෙවන දිනට විභාගයට ගැනීම ආරම්භ වුණා.

ඒ අනුව මේ වන විට නීතිපති ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණයට ඔහුගේ කරුණු දැක්වීම ආරම්භ කර ඇති බවයි nethnews.lk අධිකරණ වාර්තාකරු සඳහන් කරන්නේ.  

මෙම පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෲ ,විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද විභාගයට ගැනීම ආරම්භ වුණා. 

 

-----------------------------

පෙත්සම් විභාගය අදත්

(05-12-2018 06:39)

 

ඉකුත් නොවැම්බර් මස 9 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වැඩිදුර විභාගය අද (05) දිනයේද සිදු කෙරෙනවා.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ල හමුවේයි.

අද දිනයේ නීතිපතිවරයාගේ දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පෙත්සම්කරුවන් දස දෙනෙකු වෙනුවෙන් වාචික දේශන ඉදිරිපත් කිරීම ඊයේ (04) අවසන් කෙරුණා.

පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම තාවකාලිකව වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් නොවැම්බර් මස 13 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එය දෙසැම්බර් මස 07 වැනිදා තෙක් බලපැවැත්වෙනු ඇති. ඊයේ දිනයෙන් ආරම්භ වූ මෙම පෙත්සම් විභාගය සඳහා අද සහ හෙට (06) දිනයන්ද වෙන්කර තිබෙනවා.