Thursday, April 25, 2024

General line - 0115112241

වැල්ලවායෙන් මහනුවරට දීග ගිය මනමාලිගේ දෑවැද්දට ලක්‍ෂ 13ක ගංජා




රුපියල් ලක්‍ෂ 13 ක්‌ වටිනා ගංජා කිලෝ 13ක්‌ සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට උඩුනුවර වෙලම්බොඩ පොලීසිය සමත්ව තිබේ.

මහනුවර කේන්ද්‍ර කර ගනිමින් ගම්පොල පේරාදෙණිය, ගෙලිඔය ඇතුළු මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශ සඳහා වැල්ලවායේ සිට ගංජා බෙදා හැරීමක්‌ සිදු කිරීම පිළිබඳව ලද තොරතුරකට අනුව වෙලම්බොඩ පොලීසිය මගින් මෙම ගංජා ජාවාරම වැටලීමට සැලසුම් සකස්‌ කර තිබුණි. ඒ අනුව ගංජා මිලදී ගන්නා ව්‍යාපාරිකයෙකු ලෙසට පොලිස් උපාය දූතයෙකු යොදවා මෙම ගංජා ජාවාරම හසු කර ගැනීමට පොලීසිය සැලසුම් සකස් කර තිබුණි. මේ අනුව එම ගංජා තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු ගම්පොල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අදාල ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනා මහනුවර ප්‍රදේශයට දිවෙන බසයකින් ගංජා රැගෙන යමින් සිට තිබේ. මේ අවස්තාවේදී පොලිස්‌ නිළධාරීන් පිරිසක් එම බසයට ගොඩ වී මෙම සැකකරුවන් හඳුනා ගෙන කාඩ්බෝඩ් පෙට්‌ටි පිළිබඳව විමසීමේදී වැල්ලවායෙන් කැන්දාගෙන ගිය මනමාලියට දෑවැදි ලෙසට එම පෙට්ටි රැගෙන යන බව පවසා තිබේ.

ගම්පොල පාලම අසල බස්‌ නැවතුමේදී පොලිස් නිළධාරීන් විසින් රස කැවිලි අසුරන ලෙසට සකස් කර තිබූ එම පෙට්ටි වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී ගංජා අසුරා තිබූ පාර්සල් 13 ක්‌ සොයා ගැනීමට හැකි වී තිබුණි.