Friday, April 19, 2024

General line - 0115112241

කහ කබා වීරෝධකරුවන් ප්‍රචන්ඩ වෙයි : සුන්දර පැරිසිය අසුන්දර වූ හැටි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ඉන්ධන මත පනවා ඇති අධික බදු බර හේතුවෙන් ප්‍රංශයේ හට ගෙන තිබෙන දැවැන්ත විරෝධතා ව්‍යාපාරය නිසා එහි අගනුවර වන පැරිසියේ සාමාන්‍ය ජන ජිවිතයට දැඩි බාධා එල්ලවී තිබෙනවා. විරෝධතාකරුවන් විසින් ලොව පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන අයිෆල් කුළුණ සිය විරෝධතාවයන්ට යොදා ගැනීමේ අවධානමක් මතුවූ බැවින් එරට ආරක්ෂක අංශ ඉකුත් සිකුරාදා සිට අයිෆල් කුළුණ පිහිටි ප්‍රදේශය වසා දැමීමට පියවර ගනු ලැබුවා.

මේ අතර ඊයේ (08) දිනයේ සිට යලි ආරම්භ කෙරුණු " කහ කබා" විරෝධතාකරුවන්ගේ විරෝධතාවයන් පාලනය කිරීමට එරට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාරයන්ට අමතරව රබර් උණ්ඩ වෙඩි ප්‍රහාරයක්ද එල්ල කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රංශය පුරා පැවති "කහ කබා"  විරෝධතාකරුවන් 1000 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

විරෝධතාකරුවන් විසින් පැරිස් අගනුවර පිහිටි කඩ සාප්පු වලට ප්‍රහාර එල්ල කරමින් සහ වාහන ගිනි තබමින් ඉතා කලහකාරී ලෙස හැසිරුණු අතර ඇතැම් ස්ථාන වලදී ආරක්ෂක අංශ සමග ගැටුම් පවා ඇතිකර ගත්තා. මෙහිදී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර පැරිස් නගරයේදී පමණක් ඇතිවූ ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරින් තිදෙනෙක් සමග පුද්ගලයින් 126 දෙනෙක් තුවාල ලබා ඇත.

මෙම විරෝධතාවය දශක ගණනාවකට පසුව ප්‍රංශයේ ඇතිවූ දැවැන්තම විරෝධතා ව්‍යාපාරය ලෙසයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. එමෙන්ම ඉතා සාමකාමී නගරයක් වන පැරිසියට යුධ රථ පවා ගෙන ඒමට ප්‍රංශ රජය පියවර ගෙන තිබීම ලොව පුරා දැඩි කතා බහකට ලක්ව තිබෙනවා.

ප්‍රංශයේ නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් සිදුවූ මෙම විරෝධතා ව්‍යාපාරයට 125,000ක් පමණ විරෝධතාකරුවන් පිරිසක් සහභාගිවී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රංශයේ ක්‍රියාත්මක මෙම විරෝධතාවයන් හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවී ඇති අතර සංචාරක කර්මාන්තය ඉන් ප්‍රධාන තැනක් ගනු ලබනවා.