Saturday, April 20, 2024

General line - 0115112241

ගමක් මැද්දේ වෙන්න ගිය ලොකු ගැටුමක් දෙපාර්ශ්වයම එකතු වී විසඳ ගනී (PHOTOS)

සමන් විජය බණ්ඩාර




මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටි පිරිමි දරුවෙකු අමතර පන්තියකට ගොස් නිවස බලා යමින් සිටියදී පහරදී තුවාල සිදු කර ඒ සමග යමින් සිටි තවත් පිරිමි දරුවෙකුට සහ ගැහැණු දරුවන් තිදෙනෙකුට පරුෂ වචනයෙක් බැන වැදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් හෙම්මාතගම නගරයේ ඇති වීමට ගිය කලහකාරී තත්වයක් ආගමික නායකයින් හා පොලිසිය එක් වී සමතයකට පත් කර ගැනීමට හැකි වී තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ දී  මෙම තත්ත්වය ඇති වූ බව හෙම්මාතගම පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය සමනය වී ඇත්තේ පහර දීම සිදු කරන ලද වයස 14 සහ 15 වයස් කාණ්ඩවල පසුවෙන සිව් දෙනා හෙම්මාතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (16) දින මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවට හෙම්මාතගම නගරයට එක් වු සියයකට වැඩි පිරිසට ලබා දුන් පොරොන්දුවකින් පසුවයි.

හෙම්මාතගම නගරය මැදින් වැටි ඇති පල්ලිපොරුව ගම්මානයට යෑමට කෙටි ගමන් මාර්ගයක් ලෙස ජනතාව හෙම්මාතගම නගරය ආසන්නයේ ඇති දොඹගස්තැන්න මාර්ගය අතුරු මාර්ගයක් ලෙස යොදා ගැනීම දැනට අවුරුදු 100 කට වැඩි කාලයක සිට සිදු කරනවා. 

මෙම ගමන් මාර්ගයේදී ඊයේ දින පස්වරුවේ අමතර පන්ති ගොස්  නිවාස පිහිටා ඇති පල්ලිපොරුව ගම්මානය වෙත යමින් සිටි දරුවන් 5 දෙනෙකුට එම මාර්ගයේ බොක්කුවක් අසල සිටි  සිව් දෙනෙකු විසින්,  ගැහැණු දරුවන් තිදෙනාටද පරුෂ වචනයෙන් බැණ වැදී එහි සිටි වැඩිමහල් පිරිමි දරුවා වන මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටි අයට පහරදී  තුවාල සිදු කර තිබෙනවා. එහිදී අනික් දරුවන් කෑ ගසා උදව් ඉල්ලා සිටීමත් සමග කලබලයට පත් වු ජනතාව පැමිණ සිද්ධිය දැක තුවාල ලැබු සිසුවා හෙම්මාතගම රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. 

මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙම දරුවන්ට මෙම ස්ථානයේ දරුවන් විසින් විවිධ හිරිහැර සිදු තිබූ බවයි අදාළ හිරිහැරයට පත් දරුවන් පොලිසිය වෙත පවසා ඇත්තේ.

ඒ අනුව මෙම පහරදීම සහ බැණ වැදීමේ සිද්ධිය මුල් කර ගනිමින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් පල්ලිපොරුව ගම්මානයේ සහ අවට ගම්මානවල සියකට වැඩි ප‍්‍රමාණයක් මහාසංඝරත්නය සමග පැමිණ හෙම්මාතගම නගරයේ අදාළ පහරදීම සිදු වු දොඹගස්තැන්න මාර්ගය අසලට එකතු වී විරෝධයක නිරත වුණා.  

එහිදි ඇති වීමට යන ගැටුම්කාරි තත්වය සමනය කර ගැනීමට හෙම්මාතගම පොලිසිය මැදිහත් වී කටයුතු කර නමුත් පිරිස පාලනය කර ගැනීම තරමක් අපහසු වු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේවෙතත් මහාසංඝරත්නය ඇතුළු පිරිස පොලිසිය වෙත කැඳවා කරුණු පැහැදිළි කරදීම සිදුකරන අතරවාරයේම හෙම්මාතගම පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක වු නිලධාරින් කිහිප දෙනෙකු විසින් අදාළ සිසුවාට පහරදී තුවාල සිදු කළ සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව පොලිසිය විසින් එදින රාත‍්‍රියේ හෙම්මාතගම නගරයේ විශේෂ කාර්ය බලකා සෙබළුන්ද ගෙන්වා ආරක්ෂාව තර කර කිරීමට කටයුතු කළා.

හෙම්මාතගම පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති එදිරිසිංහ සහ  ප‍්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති චන්ද්‍රසේන යන නිලධාරීන් මැදිහත් වී ආගමික නායකයින් මෙන්ම එහි සිටි පිරිසෙන් අගතියට පත් වු පාර්ශ්වය ගෙන්වා සාකච්ඡා කර අද  (16) දින උදෑසන අදාළ වැරදිකරුවන් මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන පොරොන්දුව මත දෙපාර්ශ්වය අතර ඇති වීමට ගිය ගැටුම්කාරි තත්ත්වය සමනය කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මෙම අවස්ථාවේ අදාල සිද්ධිය කිසිදු අයෙකුට පටිගත කිරිමට ජනතාව විසින් අවස්ථාව ලබා නොදුන් අතර මාධ්‍යවේදින්ට පමණක් එම අවස්ථාව ආවරණය කිරීමට ඔවුන් විසින් බධා නොකළ බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.